01

E   |     |  

 දිනය: 2015-12-09   පිළිතුර ලබා දී ඇත 

0056/2015: දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය: එළවලු ගොවීන්ට සාධාරණ මිලක්

56/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු සඳහා ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන බවත්;

             (ii)      කප්පම්කරුවන් හා අතරමැදියන් විසින් ගොවියාට වංචා කරන බවත්;

(iii) දේශපාලන රැකවරණ මත කප්පම්කරුවන් ක්‍රියාත්මක වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත ආර්ථික මධ්‍යස්ථානයේ දී ගොවියාට සාධාරණ මිලක් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

(iii) මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක වන කප්පම්කරුවන් මැඩලීමට රජය ක්‍රියාකර තිබේද;

(iv) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඇ)     (i) මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අරමුණු හා ඉලක්ක කවරේද;

(ii) මේ වනවිට එම අරමුණු හා ඉලක්ක ජයගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) (i) ඉහත මධ්‍යස්ථානයේ ඇති කඩ කාමර සංඛ්‍යාව කොපමණද;

(ii) ඒවායේ අයිතිකරුවන්ගේ නම් හා ලිපින කවරේද;

(iii) ඉහත අයිතිකරුවන්ගෙන් රජය අය කරනු ලබන බදු මුදල කොපමණද;

(iv) මෙම කඩ කාමර අතුරු බදු දී තිබෙන බව දන්නේද;

(v) එසේ නම්, එය නීති විරෝධී බව පිළිගන්නේද;

(vi) ගොවි සංවිධානවලට හා ගොවි සමූපකාර සමිතියට ලබාදුන් කඩ කාමර දෙකෙන් ඔවුන් ඉවත් කළේ මන්ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-09

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සාධාරණ මිලක් ලැබේ. ගොවියා විසින් කෙළින්ම පිටස්තර ව්‍යාපාරිකයන් වෙත එළවලු අළෙවි කරන අතර, මිල තීරණය වන්නේ වෙළෙඳ පොළේ පවතින ඉල්ලුම හා සැපයුම මත වේ.

              (ii)      එසේ සිදු නොවේ.

             (iii)      පැන නොනඟී. එවැනි සිදුවීමක් මෙතෙක් වාර්තා වී නොමැත.

(ආ)         (i)      ඔව්.

              (ii)      දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දැනට ඇති තදබදයට හේතු වී ඇත්තේ උතුරු පළාතේ නිෂ්පාදනයන්ද එම වෙළෙඳ මධ්‍යස්ථානයට පැමිණීම නිසා එකම වෙළෙඳ පොළක අධික සැපයුමක් ඇතිවීමය. එබැවින් උතුරු පළාතේ කිලිනොච්චිය ප්‍රදේශයේ දැනටමත් ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කර අවසන් කර ඇති අතර, වවුනියාව ප්‍රදේශයේ විශාල තොග ආර්ථික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට 2016 අය වැය මඟින් මුදල් වෙන් කර ඇත. ඒ අනුව වෙළෙඳ පොළේ මිල ස්ථාවර වනු ඇත.

(iii) පැන නොනඟී.

(iv) දිනකට ගොවි ව්‍යාපාරික හා අනෙකුත් පාරිභෝගික ජනතාව දස දහසක් පමණ නිරන්තරයෙන් රැඳී සිටින ස්ථානයක් බැවින් ගොවීන්ගේ හා වෙළෙඳුන්ගේ ආරක්ෂාව හා පහසුව උදෙසා ආර්ථික මධ්‍යස්ථානය තුළ පොලිස් උපපොළක් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

(ඇ) (i) * එළවලු අළෙවිය සඳහා විධිමත් වූ තොග වෙළෙඳ පොළක් ආරම්භ කිරීම.

ගොවියාට ව්‍යාපාර සඳහා සෘජුව සම්බන්ධ වීමට ඉඩ ලබාදෙමින් අතරමැදියන් අවම කිරීම/සීමා කිරීම.

ගොවිබිමේ සිට පාරිභෝගිකයා අතට එළවලු පත්වීමේදී ඇති වන නාස්තිය, එනම් පසු අස්වනු හානිය සඳහා පිළියමක් යෙදීම.

ගුණාත්මක එළවලු නිෂ්පාදන අළෙවිය තුළින් එළවලු අපනයනය දක්වා ගොවියා රැගෙන යාම.

(ii) පළමු හා දෙවන අරමුණු දැනටමත් ඉටු වී ඇත. පසු අස්වනු හානිය අවම කිරීම සඳහා විශේෂයෙන් එළවලු ප්‍රවාහනයේදී සිදුවන හානිය අවම කර ගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ. ආර්ථික මධ්‍යස්ථානවලට යාබදව පෞද්ගලික අංශයේ කළමනාකාරිත්වය යටතේ ශීත ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමට 2016 අය වැය යෝජනා මඟින් ප්‍රතිපාදනය වෙන් කර ඇත.

(ඈ) (i) එළවලු හා පලතුරු අළෙවි ඒකක -  146

ආපන ශාලා -    09

ගබඩා -    01

බැංකු -    01

සම්පූර්ණ ඒකක ප්‍රමාණය -  157

(ii) ඇමුණුම 01 වශයෙන් ඉදිරිපත් කර ඇත. එම ඇමුණුම සභාගත* කරමි.

(iii) එළවලු හා පලතුරු අළෙවි ඒකක සඳහා මාසිකව එක් ඒකකයකින් රු.  22,755 (වැට් සහිතව)

ආපන ශාලාව සඳහා මාසිකව එක් ඒකකයකින්   රු. 20,535 (වැට් සහිතව)

ගබඩා රුපියල් 37,185 (වැට් සහිතව)

බැංකු රුපියල් 25,000 (වැට් සහිතව)

(iv). ඔව්.

(v). සෑම කටයුත්තකදීම දැනට පෙනී සිටින්නේ රජය මඟින් කඩ කාමර ලබා දී ඇති බදුකරු වේ. බදු කුලී ගෙවන්නේද එම අයම වේ. මෙම තත්ත්වය මඟ හැරවීමට නව බදු ගිවිසුම් මඟින් නීත්‍යනුකූලව පියවර ගෙන ඇත.

(vi). පැන නොනඟී.

ගොවි සංවිධානයට අංක ඊ-2-5 කඩ කාමරයද, සමුපකාර සමිතියට එෆ්-3-7 කඩ කාමරයද, ආරම්භයේදී එනම්, 1999.04.01 වන දින සිට ලබාදී ඇත. දැනටමත් එම සංවිධාන විසින්ම මෙම කඩ කාමර කරගෙන යනු ලබයි.

(ඉ) පැන නොනඟී.  

පිළිතුරු දුන් දිනය

2015-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks