බලන්න

04

E   |     |  

 දිනය: 2015-10-20   පිළිතුර ලබා දී ඇත 

0022/2015: විමධ්‍යගත ප්‍රතිපාදන : ලබා නොදීම

22/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)      2015 සංශෝධිත අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ගරු මුදල් අමාත්‍යතුමා පාර්ලිමේන්තුව අමතා පැවැත්වූ දේශනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එතෙක් ලබාදුන් විමධ්‍යගත ප්‍රතිපාදනය වූ රුපියල් ලක්ෂ 50 වෙනුවට රුපියල් ලක්ෂ 100ක් ලබාදෙන බවට ප්‍රතිඥා දුන් අතර, අග්‍රාමාත්‍යතුමන්ද එය ගරු සභාවට තහවුරු කරන ලද නමුත්, 2015 වසර සඳහා 2015 සැප්තැම්බර් 10 වැනි දින දක්වා කිසිදු මන්ත්‍රීවරයෙකුට විමධ්‍යගත ප්‍රතිපාදන ලබාදී නොමැති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙතෙක් ඉතිහාසය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවූ රුපියල් ලක්ෂ 50ක මුදල හෝ අවම වශයෙන් මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ දී ලබාදීමට  කටයුතු කරන්නේද; සහ

(ii) නොඑ‍සේ නම්, අඛණ්ඩව දශක හතරකට වැඩි කාලයක් පුරා මහජන මන්ත්‍රීවරයකු භුක්තිවිඳි වරප්‍රසාදයක් වත්මන් රජය විසින් කඩකිරීමක් ලෙස  පිළිගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-20

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)       මෙම වැඩසටහන යටතේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් 1973 වර්ෂයේදී  වෙන්කරනු ලැබූ රුපියල් ලක්ෂ 5ක මූල්‍ය ප්‍රතිපාදන 1979 වර්ෂයේ දී රුපියල් ලක්ෂ 25 දක්වාද, 2000 වර්ෂයේදී රුපියල් ලක්ෂ 35 දක්වාද, 2003 වර්ෂයේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා ද වැඩි කරන ලදි. ඒ අනුව, 2014 වර්ෂය දක්වා වසර 11ක්ම එක් මන්ත්‍රීවරයෙකු සඳහා වෙන්කරනු ලැබුවේ වසරකට රු. මිලියන 5කි.  2014 වර්ෂයේ පෙර පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා පමණක් විශේෂ වන පරිදි විශේෂ මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස අතිරේක රුපියල් මිලියන 10ක් සංවර්ධනය සඳහා ලබා දෙන ලදී. මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් වන සංවර්ධන යෝජනා සැලකිල්ලට ගෙන නව රජය විසින් 2015 වර්ෂයේ සිට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් වන විමධ්‍යගත ප්‍රතිපාදන මුදල, වසර 11කට පසු, රුපියල් මිලියන 10 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.

(ii) නැත.

2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් පසු සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත් 2015 මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් එම මැතිවරණයෙන් පසු පත්වන නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාද විමධ්‍යගත ප්‍රතිපාදන ලබා දීම සිදු කළ යුතු බැවින් එකම වසරක් තුළ අවස්ථා දෙකකදි ප්‍රතිපාදන ලබා දීමේ හැකියාවක් නොමැත. එමෙන්ම 2015.07.23 දිනැති මැතිවරණ කොමසාරිස්ගේ ලිපිය මඟින් මහ මැතිවරණය අවසන් වනතුරු නව ව්‍යාපෘති ආරම්භ කිරීම අත්හිටුවන ලදි.

එබැවින් 2015 මහ මැතිවරණයෙන් පසුව පත්වන නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෙම ප්‍රතිපාදන වෙන්කර එම ප්‍රතිපාදනවලට අදාළව ව්‍යාපෘති ගෙන්වා ගැනීම, අනුමත කිරීම, ප්‍රතිපාදන නිදහස් කිරීම හා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර, ව්‍යාපෘති මෙම වර්ෂය තුළ අවසන් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් හා ව්‍යාපෘති අවිච්ඡේද වීම වැළැක්වීම සඳහා මෙම වසරේ මෙම වැඩසටහනට අදාළ ප්‍රතිපාදන ලබා නොදීම හා මන්ත්‍රීවරයෙකු බුක්ති විඳි වරප්‍රසාදය කඩවීමක් නොවන ලෙස 2016 වර්ෂය සඳහා මෙම ප්‍රතිපාදනද ඇතුළත් කර එක් මන්ත්‍රීවරයකු සඳහා මෙම වැඩසටහන යටතේ රුපියල් මිලියන 15ක් වෙන් කෙරේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks