01

E   |     |  

 දිනය: 2015-10-22   පිළිතුර ලබා දී ඇත 

0012/2015: කැරම් බෝඩ් සහ දාම් බෝඩ් මිලදී ගැනීම : විස්තර

12/’15

 

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)         (i)      2014 වර්ෂය තුළ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රු.39,061,290.12 ක වටිනාකමකින් යුත් කැරම් බෝඩ් 14000ක් සහ දාම් බෝඩ් 14000ක් බෙදාදීම ක්‍රීඩා අමාත්‍යාංශයේ 2014 වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්ම තුළ අන්තර්ගත වී තිබුණේද;

(ii) පාර්ලිමේන්තුව විසින් 2014 වාර්ෂික අයවැය ඇස්තමේන්තු යටතේ එම කැරම් බෝඩ් සහ දාම් බෝඩ් මිලදී ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට ප්‍රතිපාදන වෙන් කොට දී තිබුණේද; සහ

(iii) එසේ නම්, එම මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සතොස මගින් මිලදී ගත් මෙම භාණ්ඩ අමාත්‍යාංශයේ ගබඩාවලට විධිමත් පරිදි භාරගෙන තිබේද;

(ii) අමාත්‍යාංශයේ ගබඩාවලට භාර ගෙන නොමැති නම්, එම භාණ්ඩ භාර ගත් නිලධාරීන් සහ ආයතන කවරේද; සහ

(iii) එම භාණ්ඩ බෙදා හැර ඇති ස්ථාන හා ඉතිරි භාණ්ඩ ගබඩා කර ඇති ස්ථාන කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ප්‍රසම්පාදන පටිපාටීන්ගෙන් තොරව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මිලදී ගෙන, එහෙත් අමාත්‍යාංශය වෙත නොලැබුණු ක්‍රීඩා භාණ්ඩ පිළිබඳව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පවත්වනු ලබන විමර්ශනයේ ප්‍රගතිය කවරේද;

(ii) ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් කවුරුන්ද; සහ

     (iii) ඊට අදාළව ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ  නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       නැත.

              (ii)      නැත.

             (iii)      පැන නොනඟී.

(ආ)         (i)      අමාත්‍යාංශයේ ගබඩාවලට විධිමත් පරිදි භාර ගැනීමක් සිදු කර නොමැත.

              (ii)      විගණකාධිපතිගේ අංක ඊ එච් එස්/ඒ/විමර්ශන 2015 හා 2015.04.10 දිනැති විගණන විමසුමට අනුව හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු විසින් ලබා දී ඇති ප්‍රකාශයන් අනුව, හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සහ අමාත්‍යාංශ ලේකම් කාර්යාලයෙන් ලැබුණු වාචික නියෝගයන් පරිදි උක්ත භාණ්ඩ බාර ගත් බවට ගබඩා භාරකරු විසින් සතොස ආයතනය මඟින් ඉදිරිපත් කර ඇති ලේඛන කිහිපයක අත්සන් කර ඇති නමුත් භෞතිකව එම භාණ්ඩ  සතොස ආයතනය මඟින් ක්‍රීඩා අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තු ගබඩාවට ගෙනැවිත් භාර දී නොමැත.

(iii) නොදනී.

නමුත් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ම/උ බී 884/15 දරන නඩු අංක යටතේ කරන ලද දැන්වීම පරිදි, වරාය අධිකාරියේ ගබඩාවක තිබී අත් අඩංගුවට ගෙන තිබූ කැරම් බෝඩ් 215ක් හා දාම් බෝඩ් 620ක්ද සතොස ආයතනයේ සේවකයකු විසින් නිවසක තබා තිබියදී කැරම් බෝඩ් 60ක්ද අත් අඩංගුවට ගෙන අධිකරණය මඟින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත.

(ඇ) (i) කැරම් බෝඩ් හා දාම් බෝඩ් මිලදී ගැනීම පිළිබඳව කිසිම විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කර නොමැති අතර එවැනි ඉල්ලීමක්/ අවශ්‍යතාවක් පිළිබඳව කිසිදු ප්‍රගති සමාලෝචන හෝ වෙනත් රැස්වීම්වලදීද එවකට සිටි අමාත්‍යවරයා විසින් සාකච්ඡා වී නොමැත. නමුත් හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්ගේ අංක MS/MOS/3403 හා 2014.11.07 ලිපියට අනුව ගරු ඇමතිතුමාගේ උපදෙස් පරිදි යයි සඳහන් කරමින්, තීරු බදු රහිතව කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 14,000ක් සතොස ආයතනය මඟින් ආනයනය කිරීමට ලිපියක් සකස් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට කරන ලද දැනුම් දීම පරිදි අමාත්‍යාංශ ලේකම් විසින් උසස් ප්‍රමිතියෙන් යුක්ත කැරම් හා දාම් බෝඩ් 14,000ක් තීරු බදු රහිතව ආනයනය කරන ලෙස 2014.11.07 දින සතොස ආයතනයට දන්වා ඇත.

නමුත් සතොස ආයතනය විසින් එවා ඇති ආනයන භාණ්ඩ ලේඛන අනුව රුපියල් 11,529,652.81ක වටිනාකම ඇති කැරම් බෝඩ් 6,024ක් 2014.11.06 දින සතොස ආයතනය වෙත ලැබී ඇති බව ඉදිරිපත් කර ඇති ලේඛන අනුව පෙනී යයි. එනම් 2014.11.07වැනි දින ලේකම්වරයාගේ ලිපිය සතොස ආයතනයට නිකුත් කිරීමට පෙර සතොස වෙත කැරම් බෝඩ් ලැබී ඇති බව පෙනේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අංක S/DIG/FCID/OUT/1556/15 හා 2015.10.21 දිනැති ලිපිය පරිදි මෙහි විමර්ශන කටයුතු අවසන් කර ඇති අතර, ඒ සම්බන්ධව නීතිපති උපදෙස් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කටයුතු කරමින් පවතින බව දන්වා ඇත.

(ii) සියලුම විමර්ශන උධෘත නීතිපති වෙත යොමු කිරීමෙන් පසුව ඒ සම්බන්ධව නීතිපති විසින් සැකකරුවන් සහ චෝදනා පිළිබඳව තීරණය කරනු ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දන්වා ඇත.

(iii) විමර්ශනය සම්බන්ධව කොටුව ම/උ නඩු අංක 884/15 යටතේ නඩුව විභාග වෙමින් පවතී.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks