01

E   |     |  

 දිනය: 2014-11-20   පිළිතුර ලබා දී ඇත 

5657/2014: ශ්‍රී.ලං.ප.සේ. විශේෂ ශ්‍රේණියේ පත් කිරීම්: පටිපාටිය

5657/’14

 

ගරු විජිත හේරත් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්ව‍දේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවේ පළමුවැනි උ‍පලේඛනයේ ‘අ’ පරිශිෂ්ටයේ සඳහන් ශ්‍රී.ලං.ප.සේ. විශේෂ ශ්‍රේණියට අදාළවන තනතුරුවලින් දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුරු සංඛ්‍යාව කොපමණද;

(ii) එම ලැයිස්තුවේ සඳහන් ඉහත ශ්‍රී.ලං.ප.සේ. විශේෂ ශ්‍රේණියේ තනතුරුවල පත්කිරීම් බලධරයා කවුරුන්ද;

(iii) ශ්‍රී.ලං.ප.සේ. විශේෂ ශ්‍රේණියේ තනතුරුවලට පත්කිරීමේ පටිපාටිය කවරේද;

(iv) ශ්‍රී.ලං.ප.සේ. විශේෂ ශ්‍රේණියට අදාළ තනතුරු සඳහා මේ වන විට පත්කර ඇති ශ්‍රී.ලං.ප.සේ. නොවන නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

(v) 2012.07.02 දින සිට 2014.01.01 දින දක්වා වූ කාලය තුළ පුරප්පාඩු වී තිබූ ශ්‍රී.ලං.ප.සේ. විශේෂ ශ්‍රේණියේ තනතුරු පැවති ආයතන, එම තනතුරු නාම සහ තනතුරු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) ශ්‍රී.ලං.ප.සේ. I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා 2014 අගෝස්තු මස පවත්වන ලද සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද, සුදුසුකම් සම්පූර්ණ කර තිබූ එක් එක් නිලධාරියාගේ නම, ඔවුන් ශ්‍රී.ලං.ප.සේ. I ශ්‍රේණියට පත් වූ දිනය, පශ්චාත් උපාධිය වලංගු දිනය, එම උපාධිය පිරිනැමූ විශ්වවිද්‍යාලය හා එම  උපාධියේ විෂය ක්ෂේත්‍රය වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-20

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පනස් හතයි. (57)

              (ii)      දෙපාර්තමේන්තු ප්‍රධානීන් වන විශේෂ ශ්‍රේණියේ තනතුරු සඳහා පත් කිරීම් බලධාරියා වන්නේ අමාත්‍ය මණ්ඩලය වන අතර දෙපාර්තමේන්තු ප්‍රධානීන් නොවන විශේෂ ශ්‍රේණියේ තනතුරු සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කිරීම් සිදු කරනු ලබයි. තවද, පළාත් සභා තුළ පවත්නා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ තනතුරු සඳහා නිලධාරින් පත් කරනු ලබන්නේ ඒ ඒ පළාත් සභාවන්හි ගරු ආණ්ඩුකාරවරුන් විසිනි.

(iii) 1842/2 හා 2013.12.23 දිනැති ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවේ පවතින විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේ විධිවිධාන පරිදි ඒ ඒ වසරේ ජනවාරි 01ට හා ජූලි 01ට පවත්නා පුරප්පාඩු මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි උසස්වීම් ලබා දෙනු ලබන අතර, එම නිලධාරින් අතරින් පුරප්පාඩු පුරවනු ලැබේ.

(iv) අටයි. (08)

(v) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2014.02.19 දිනැතිව ලබා දුන් නිර්දේශ අනුව 2013.01.01, 2013.07.01 හා 2014.01.01 දිනැතිව අනුමත                  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරු සංඛ්‍යාව පිළිවෙළින් 287, 299 හා 304ක් වේ. එම දිනයන්ට අදාළව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නියුක්ත නිලධාරින් සංඛ්‍යාව පිළිවෙළින් 260, 274 හා 294ක් වන අතර ඒ අනුව පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව පිළිවෙළින් 27, 25 හා 10කි.

මෙහිදී පුරප්පාඩු පවත්නා එක් එක් කාර්යාලයන්ට අදාළ තනතුරු වෙන් වෙන් වශයෙන් දැක්විය නොහැකි අතර ඊට කරුණු රාශියක් බලපායි. එම කරුණු අතර ශ්‍රී.ලං.ප.සේ. වි‍ශේෂ ශ්‍රේණියේ උසස්වීම් ලබා ඇති නමුත් විශේෂ ශ්‍රේණියේ තනතුරු නොදරන නිලධාරින් සංඛ්‍යාව, ශ්‍රී.ලං.ප.සේ. විශේෂ ශ්‍රේණියේ තනතුරු දරන පහළ ‍ශ්‍රේණිවල නිලධාරින් සංඛ්‍යාව, ද්විතීයනය පදනම මත මුදා හරිනු ලැබ සිටින නිලධාරින් සංඛ්‍යාව හා වෙනත් කරුණු ද වේ. මෙම කරුණු බලපාන ආකාරය ඇමුණුම 01 මඟින් දක්වා ඇත. ඇමුණුම 01 සභාගත* කරමි.

මෙම පුරප්පාඩු පිළිබඳ විස්තර රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද අතර රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක PSC/APP/7/645/2014 හා 2014.05.20 දිනැති ලිපිය මඟින් පහත පරිදි උසස් වීම් සඳහා අනුමැතිය ලබා දී ඇත.

2013.01.01      - 27

2013.07.01       - 25

2014.01.01      - 10

62

(ආ) ඇමුණුම 02 මඟින් දක්වා ඇත. ඇමුණුම 02 සභාගත* කරමි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2015-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks