01

E   |     |  

 දිනය: 2014-08-06   පිළිතුර ලබා දී ඇත 

4845/2014: නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය : විස්තර

4845/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ප්‍රමිතියෙන් තොර බලාගාරයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශකර ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)     එම බලාගාරයේ,

              (i)       පළමුවන අදියර වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල හා වැය කළ මුදල කොපමණද;

  (ii) ප්‍රමිතිය, උපකරණ හා ක්‍රියාකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදාළ ඉදිකිරීම් සමාගම සමග වගකීම් කාලයක් සහිත ගිවිසුමකට එළැඹ සිටියේද;

(iii) ප්‍රමිතියෙන් තොර තත්ත්වය හා සිදුවන අක්‍රියවීම්   සම්බන්ධයෙන් බලාගාරය ඉදිකළ සමාගමට එරෙහිව ගත් ක්‍රියාමාර්ග කවරේද;

(iv) අලුත්වැඩියාවන්වලට සහ එම කාලය තුළ අහිමි වූ විදුලි බලය ලබා ගැනීමට  වැය වූ අතිවිශාල මුදල ඊට වගකිව යුත්තන්ගෙන් ‍අය කර ගැනීමට කටයුතු කරන්නේද;

(v) පළමුවැනි අදියර නිසි පරිදි ඉදි නොකළ සමාගම විසින්ම එහි ඊළඟ අදියරයන්ද    ඉදිකරනු ලබන්නේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉදිරියේදී මහජනතාවට ප්‍රතිලාභ ලබා දිය ‍හැකි වන පරිදි විදුලිය නිපදවීමට සැලසුම් කර තිබේද;

 

(ii) විදුලි බිල අඩුවීමට හේතු වන එම සැලසුම දින වකවානු සහිතව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?   

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-06

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)        වාර්තා වී නොමැත.

(ආ)      (i)       පළමුවන අදියර ඉදි කිරීම් වෙනුවෙන් සාකච්ඡාමය කොන්ත්‍රාත් මිල ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසිය පනස්පහකි. (ඇ.ඩො. මිලියන 455කි.)  පළමුවන අදියර ඉදි කිරීම් වෙනුවෙන් වියදම් කළ සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසිය හතළිස් අටකි. (ඇ.ඩො. මිලියන 448කි.)

               (ii)      ඔව්.

              (iii)      ඉහත ප්‍රශ්න අංක (ආ)(ii) හි සඳහන් ගිවිසුමට අනුව කොන්ත්‍රාත් සමාගම විසින් වගකීම් දරන කාලය විදුලි බලාගාරය වාණිජ කටයුතු සඳහා පණ ගැන්වූ දින සිට අවුරුදු දෙකකි. එම කාලය තුළ විදුලි බලාගාරය අක්‍රිය වූ අවස්ථාවන්හිදී අදාළ කොන්ත්‍රාත් සමාගම අවශ්‍ය තැන්හිදී අමතර කොටස් ද යොදා සියලු අලුත්වැඩියා කටයුතු අය කිරීමකින් තොරව සිදු කර ඇත. එබැවින් අදාළ සමාගමට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැත.

(iv) අලුත්වැඩියාවන්වලට අදාළ සියලු වියදම් ඉදි කිරීම් කරනු ලැබූ චීන සමාගම විසින් දරා ඇත. අදාළ ජනක යන්ත්‍ර අලුත්වැඩියා කර නැවත පණ ගන්වා විදුලිය ජනනය ආරම්භ කරන තුරු ජනන වියදම අවම වන සේ වෙනත් ජනක යන්ත්‍ර මඟින් විදුලිය ලබාගෙන ඇත.

(v) දෙවැනි අදියර සඳහා ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇත්තේ පළමුවෙනි අදියර අවසන් වීමට පෙර වන අතර, මෙම කාර්යය සඳහා ණය මුදල ලබා දුන් චීන රජය විසින් අදාළ කොන්ත්‍රාත් සමාගම නිර්දේශ කර ඇත.

(ඇ) (i) ඔව්.

(ii) මේ වන විටත් සැලකිය යුතු ප්‍රමාණයකින් විදුලිය බිල අඩු කර ඇත. (2014.09.16 සිට)

තවද ලංකා විදුලිබල මණ්ඩලය විසින් සෑම දෙවසරකටම වරක් ඉදිරි වර්ෂ 20ක් සඳහා වන දීර්ඝ කාලීන අඩු වියදම් ජනක සැලසුම් වාර්තාවක් පිළියෙල කරනු ලබයි. මේ වන විට 2013-2032 කාලය සඳහා සකස් කරන ලද වාර්තාව (Long Term Generation Expansion Plan, 2013-2032) මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කොට මහජන අදහස් විමසීමෙන් පසු සියලු සංශෝධන සමඟින් එළි දක්වා ඇත. අදාළ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා දිය හැක. ජනක සැලසුමේ සාරාංශය සඳහන් එම වාර්තාවේ පිටු අංක A11-1 හි පිටපතක්  ඇමුණුම* ලෙස ඉදිරිපත් කරමි.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks