01

E   |     |  

 දිනය: 2014-01-24   පිළිතුර ලබා දී ඇත 

4095/2014: ආනයනික කිරි පිටිවල අඩංගු අහිතකර සංඝටක : විස්තර

4095/’13

ගරු අනුර දිසානායක මහතා,— තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)        (i)       ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක අඩංගුව තිබේද;

             (ii)       එසේ නම්, කිරිපිටිවල අඩංගු ශරීරයට අහිතකර සංඝටක කවරේද;

           (iii)       එම සංඝටක අඩංගු කිරිපිටි වර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) කිරිපිටිවල අඩංගු අහිතකර සංඝටක පිළිබඳව පර්යේෂණ සිදු කළ ආයතනය කවරේද;

(ii) ඉහත කාරණයට අදාළ පර්යේෂණ කටයුතු විදේශීය පර්යේෂණාගාරවලට යොමුකර තිබේද;

(iii) එසේ නම්, එම විදේශීය ආයතන මගින් ලබා දී ඇති එකී පර්යේෂණ වාර්තාවල අඩංගු කරුණු කවරේද;

(iv) අහිතකර සංඝටක අඩංගු කිරිපිටි සහ එම කිරිපිටි ආනයනකරුවන් සම්බන්ධයෙන් ගනු  ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-01-24

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තාක්ෂණ හා පර්යේෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ආනයනය කරන ලද කිරි පිටිවල ශරීරයට අහිතකර සංඝටක අඩංගු වන්නේද යන්න සොයා ගත හැක්කේ රසායනාගාර  විශ්ලේෂණයන් මඟින් පමණි.

              (ii)       (iii)   සඳහා මා එකවර පිළිතුරු දෙන්නම්.

                         ආනයනය කරනු ලැබූ කිරි පිටිවල ශරීරයට හානිකර සංඝටක අඩංගු වන්නේද යන්න පරීක්ෂා කිරීමේ වග කීම මාගේ අමාත්‍යාංශයට හෝ, අමාත්‍යාංශය යටතේ‍ ඇති කිසිදු ආයතනයකට පැවරී නැත. 1980 අංක 26 දරන ආහාර පනත යටතේ, ආහාර ද්‍රව්‍යවල සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු කිරීමේ වග කීම එකී පනත යටතේ ස්ථාපිත කර ඇති ආහාර අධිකාරියට පැවරී ඇත. තවද, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද එම පනතේ විධිවිධාන අනුව, පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වග කීම් හා බලතල ඇත.

එනමුත් නවසීලන්තයේ නිෂ්පාදිත ඇතැම් කිරි ආහාරවල ඩයිසයිනමයිඩ් - DCD- ඇති බව 2013 ජුනි මාසයේ අනාවරණය වූ විට වග කිව යුතු පරීක්ෂණාගාරයක් වශයෙන් කාර්මික තාක්ෂණික ආයතනය -ITI- විසින් වෙළෙඳ පොළේ ඇති ආනයනික හා දේශීය වශයෙන් නිෂ්පාදිත කිරි ආහාර වර්ගවල සාම්පල ලබා ගෙන ඒවා පරීක්ෂණයට භාජනය කරන ලදී. කාර්මික තාක්ෂණික ආයතනය -ITI- විසින් ප්‍රථම වතාවට මෙම පරීක්ෂණයන් සිදු කරන ලද්දේ 2013 වසරේ ජූලි මාසයේදීයි.  

(ආ)         (i)       ඉහත සඳහන් කරන ලද පරිදි කිරි පිටි සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණාගාර විශ්ලේෂණයන් සිදු කරන ලද මගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනය වන්නේ කාර්මික තාක්ෂණ ආයතනයයි.  මගේ අමාත්‍යාංශයෙන් පිටස්තරව වෙනත් ආයතන විසින් පරීක්ෂණාගාර විශ්ලේෂණයන් සිදු කරන ලද්දේද, එසේ නම් එම ආයතනයන් මොනවාද යන්න ගැන මම නොදනිමි. මෙම ප්‍රශ්නය යොමු කළ යුත්තේ ආහාර අධිකාරිය අයත් වන අමාත්‍යාංශයටය.

  (ii)  මගේ අමාත්‍යාංශය හෝ කාර්මික තාක්ෂණ ආයතනය විසින් "පර්යේෂණ ක්‍රියාකාරකම්" කිසිවක් විදේශීය පර්යේෂණ ආයතනයන් වෙත යොමු කොට නොමැත.

      (iii)   පැන නොනඟී.

      (iv)  කාර්මික  තාක්ෂණ  ආයතනය -ITI- විසින් පරීක්ෂණාගාර විශ්ලේෂණ සේවාවන් ඉටු කර, ඒ සම්බන්ධයෙන් වාර්තා, අදාළ ඉල්ලීම  යොමු කරන ලද බලධාරින්ට නිකුත් කරනු ලබන අතර, ඊට අමතරව වෙනත් පියවර ගැනීමට කිසිදු බලයක් හෝ වගකීමක් මෙම ආයතනයට නැත. වාර්තා අනුව අවශ්‍ය පියවර ගැනීමේ වගකීමක් එම ආයතනයට නැත. මෙම කරුණ මාගේ අමාත්‍යාංශයට හෝ  අමාත්‍යාංශය  යටතේ ඇති වෙනත් කිසිදු ආයතනයකට අදාළ නොවේ.

             ඉහත සදන් කළ පරිදි, අදාළ බලය  පැවරී ඇත්තේ ආහාර  පනත යටතේය.

              (v) පර්යේෂණ  වාර්තා පදනම් කර ගනිමින් අවශ්‍ය පියවර  ගත යුත්තේ අදාළ බලතල පැවරී ඇති බලධරයන් විසිනි.

(ඇ) ඉහත විස්තර කරන ලද හේතුව නිසා. 

පිළිතුරු දුන් දිනය

2014-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks