01

E   |     |  

 දිනය: 2013-07-25   පිළිතුර ලබා දී ඇත 

3773/2013: කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන : විස්තර

3773/’13

ගරු විජිත බේරු‍ගොඩ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2005 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ ‘කෘෂි නිෂ්පාදනය සඳහා අගය එකතු කිරීම සහ සැපයුම් දාමය තුළ පසු අස්වනු හානිය අවම කිරීම තුළින් කෘෂි නිෂ්පාදන සඳහා අලෙවිය ප්‍රවර්ධන කිරීම’ යන වැඩසටහ‍නෙහි අරමුණ කවරේද;

  (ii)  එම වැඩ සටහන යටතේ ඉටුකළ කාර්ය භාරය කවරේද;

  (iii)  ඉන් ජනතාවට ලැබී ඇති සහනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  කෘෂිකාර්මික සංවර්ධනය සහ උන්නතිය උදෙසා ජාතික විශ්වවිද්‍යාල වෙතින් ලබා ගෙන ඇති  සේවාවන් හා දායකත්වයන් කවරේද;

  (ii)    ‘S. 2KR 2010—2012’ වැඩසටහනින් අදහස් කරන්නේ කුමක්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-25

අසන ලද්දේ

ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා (කෘෂිකර්ම අමාත්‍යතුමා)

(மாண்புமிகு மஹிந்த யாப்பா அபேவர்தன - கமத்தொழில் அமைச்சர்)

(The Hon. Mahinda Yapa Abeywardena - Minister of Agriculture)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)     

I.   අගය එකතු කිරීම මඟින් කෘෂි නිෂ්පාදකයන්ගේ ලාභය ඉහළ නැංවීම, කෘෂි නිෂ්පාදන කල් තබා ගැනීමේ කාලය දීර්ඝ කිරීම මෙන්ම අස්වනු නෙලන සමයේ සාධරණ මිලක් නොලැබීම හා නිෂ්පාදන අතිරික්තය යන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම.

II. නාස්තිය අවම කිරීමෙන් ආහාර සුරක්ෂිතතාව  ඇති කිරීම හා කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම.

(ii) 1. දැනුවත් කිරීමේ වැඩසටහන් 73ක් විවිධ ප්‍රදේශවල ගොවීන් සහ වෙළෙඳුන් අරමුණු කරගෙන පැවැත්වීම.

2. පසු අස්වනු හානිය අවම කිරීමට හේතුවන ප්ලාස්ටික් කූඩ භාවිතය හඳුන්වා දීම.

3. වී වෙනුවට සහල් අළෙවි කිරීම සඳහා සහල් සැකසුම් ගම්මාන ඇති කිරීම.

4. සහල් මෝල් ඒකක 350ක් වැඩිදියුණු කර ඇති අතර සහල් පිටි මෝල් 263ක් වැඩිදියුණු කර ඇත.

5. සැපයුම් දාම තිබෙන වෙළෙඳුන් සඳහා අවශ්‍ය පුහුණුව හා උපකරණ 50% සහන පදනම මත ලබා දීම.

(iii) 1. පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ එළවලු සහ පළතුරු ලබා ගැනීමට හැකි වීම.

2. පසු අස්වනු හානිය අඩු කිරීම මඟින් ගොවියාට ඉහළ මිලක් ලැබීම.

3. අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීම තුළින් නව ව්‍යවසායකයන් බිහි කිරීම හා නව රැකියා අවස්ථා ඇති කිරීම.

(ආ) (i) 1. කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සකස් කිරීමේදී ඊට අවශ්‍ය සම්පත් දායකත්වය විශ්වවිද්‍යාල විද්වත් මණ්ඩලයෙන් ලබා ගැනීම.

2. කෘෂිකාර්මික අංශයේ දීර්ඝකාලීන මානව සම්පත් සංවර්ධනය උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරින් සඳහා උපාධි හා පශ්චාත් උපාධි අවස්ථා ලබා දීම සඳහා ජාතික විශ්වවිද්‍යාල භාවිත කෙරේ.

3. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශවල පර්යේෂණ වැඩසටහන් සැලසුම් කිරීමේදී විශ්වවිද්‍යාල සහභාගිත්වය ලබා ගන්නා අතර කෘෂිකාර්මික පර්යේෂණ එලි දැක්වීමේ වාර්ෂික සමුළුව සඳහා විශ්වවිද්‍යාලවල සක්‍රිය දායකත්වය ලබා ගැනේ.

4. විශ්වවිද්‍යාල අවසන් වසර සිසුන් 35 දෙනකු පමණ වාර්ෂිකව තම අවසන් වසර පර්යේෂණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කරන බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කටයුතුවලට ඔවුන්ගේ සක්‍රිය දායකත්වයක් ලැබේ.

5. විශ්වවිද්‍යාල හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සාර්ථකව සිදු කරවා ගන්නා අතරම, විශ්වවිද්‍යාල හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර නව තාක්ෂණික දැනුම හුවමාරු වේ.

(ii) S. 2KR 2010-2012 යනුවෙන්  වැඩසටහනක් නොමැත.

එහෙත්, 2KR නමින් වැඩසටහනක් ක්‍රියාත්මක විය. එය ජපන් රජයේ ප්‍රදානයක් ලෙස 1977 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ වැඩසටහනකි. මෙමඟින් ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදලාභී ගොවීන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ආධාර ලැබුණු. මුල් කාලයේදී මේ යටතේ ශ්‍රී ලංකාවට පොහොර ලැබී ඇති අතර, පසු කාලීනව කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දී ඇත.

ලබා දී ඇති කෘෂි යන්ත්‍රෝපකරණ

රොටවේරය සහ අමතර කොටස් සහිතව

රෝද 4 ට්‍රැක්ටර 50

රොටවේරය සහ අමතර කොටස් සහිතව

රෝද 2 ට්‍රැක්ටර 896

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2013-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks