01

E   |     |  

 දිනය: 2013-08-06   පිළිතුර ලබා දී ඇත 

3600/2013: ශ්‍රී ලංකා තානාපති කාර්යාල : සුභසාධන නිලධාරින්

3600/’13

ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට සුබසාධන නිලධාරීන් අනුයුක්ත කර ඇති බවත්;

(ii) විදේශ රටවලදී විවිධ හිරිහැරයට හා අතවරවලට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම නිලධාරීන් වැඩිදෙනෙකුගෙන් නිසි සේවයක් නොලැබෙන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ඉහත සුබසාධන නිලධාරීන් පත්කිරීමේදී සලකා බැලූ සුදුසුකම් කවරේද;

           (ii) පත්කර ඇති එම නිලධාරීන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

(iii) ඉහත තනතුර සඳහා ජාත්‍යන්තර නීති රීති පිළිබඳවත්, අදාළ රටේ භාෂාව හා සංස්කෘතිය පිළිබඳවත් දැනුමක් ඇති, සුදුසුකම් සහිත නිලධාරීන් පිරිසක් පත් කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-06

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඩිලාන් පෙරේරා මහතා (විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යතුමා)

(மாண்புமிகு டிலான் பெரேரா - வெளிநாட்டு வேலைவாய்ப்பு ஊக்குவிப்பு, நலனோம்புகை அமைச்சர்)

(The Hon. Dilan Perera - Minister of Foreign Employment Promotion and Welfare)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      ඔව්.

              (ii)      නැත. විදේශයන්හිදී විවිධ ගැටලුවලට මුහුණ පා අදාළ තානාපති කාර්යාලවල සහය අපේක්ෂා කරන විගමනික සේවක මහත්ම මහත්මීන්ට ඔවුන්ගේ ගැටලු නිරාකරණය කර ගැනීමට සියලු සහය ලබා දීමට කටයුතු කර ඇත. මෙයට අමතරව කාර්යාංශය වෙත දේශීය වශයෙන් විගමනික සේවකයන්ගේ ඥාතීන් විසින් සිදු කරනු ලබන පැමිණිලි අදාළ තානාපති කාර්යාල නිලධාරින් වෙත යොමු කර අවශ්‍ය සහන සලසනු ලැබේ.

(ආ) (i) මෙම තනතුරට පත් කිරීමේදී පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් උපාධියක් තිබේද කියා  බලනවා. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇතුළෙන් බඳවා ගැනීමේදී උපාධියක් නොමැති වුණත් එයට සමාන සුදුසුකම් සහ කාර්යාංශයේ වැඩ කිරීමේ සේවා පළපුරුද්දත්, ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සහ තමා සේවයට යන තානාපති කාර්යාලය තිබෙන රටේ භාෂාව පිළිබඳ ප්‍රවීණතාවක් තිබීම අමතර සුදුසුකමක් සේ සලකා බලනු ලැබේ.

(ii) පත් කර ඇති එම නිලධාරින්ගේ නම් සහ ලිපිනයන් මේ සමඟ ඇති ඇමුණුමෙහි දක්වා තිබෙනවා.  ඇමුණුම සභාගත* කරමි.

(iii) ඔව්. මම අමාත්‍යාංශය භාර ගත්තාට පස්සේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සබඳතා අංශය මඟින් විශේෂයෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර නීති-රීති හා ආගමික පසුබිම, සංස්කෘතික කටයුතු පිළිබඳ පාඨමාලා සඳහා යොමු කර ඒ අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කරනු ලබන අතර ඉන් අනතුරුව කාර්යාංශයේ විවිධ අංශ වෙත යොමු කර ප්‍රායෝගික දැනුම අදාළ නිලධාරින්ට ලබා දෙනු ලැබේ.

ඒ පාඨමාලාවලින් සමත් වන අයට ඉදිරියේදී  කාර්යාංශය ඇතුළෙන් පත්වීම් ලබා දීමේදි ප්‍රමුඛතාව දෙන්න කටයුතු කරනවා. ඒ වාගේම IOM  සහ  ILO ආයතනත් එක්ක එකතු වෙලා ගිය අවුරුද්දේ ජෝර්දාන් නගර‍යේදීත්, මේ අවුරුද්දේ ලංකාවේදීත් දැනට පිට රට වැඩ කරන සුබසාධන නිලධාරින් සහ ඒ සුබසාධන නිලධාරින් එක්ක ලංකාවෙන් සම්බන්ධ වෙලා ඉන්න නිලධාරිනුත් එක්ක පිට රට ඉන්න විශේෂඥයිනුත් ගෙනැල්ලා ඒ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන පාඨමාලා දෙකක් පැවැත්වූවා.

(ඇ) පැන නොනඟී.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks