01

E   |     |  

 දිනය: 2013-06-06   පිළිතුර ලබා දී ඇත 

3298/2013: දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය පිහිටි ඉඩම : පෞද්ගලික සමාගමට ලබා දීම

3298/’12

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය පිහිටි ඉඩමෙන් කොටසක් පෞද්ගලික සමාගමකට ව්‍යාපාරික කටයුතු සඳහා ලබාදීමට තීරණය කර තිබේද;

            (ii)       එසේ නම්, එම පෞද්ගලික සමාගමේ නම කවරේද;

  (iii)  එම සමාගම ඉහත ඉඩම ඉල්ලා සිටින ව්‍යාපාරික කටයුත්ත කවරේද;

  (iv)  ඉහත සඳහන් ඉඩම එකී පෞද්ගලික සමාගමට ලබා දෙන්නේ නම්, ඊට අදාළවන කොන්දේසි කවරේද;

  (v)  අදාළ ඉඩම එම සමාගමට ලබා දෙන මිල ගණන් කව‍රේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  උක්ත දේපළ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයට අයිති බවත්;

  (ii)  මේ වනවිට දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය තුළ ද ඉඩ පහසුකම් ‍නොමැති තත්ත්වයක් පවතින බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2013-06-06

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එස්.බී. දිසානායක මහතා

(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க)

(The Hon. S.B. Dissanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ව්‍යාපාරික කටයුතු සඳහා ලබා දී නොමැත. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක කෙරෙන නිවාස 500කින් යුතු සංවර්ධන ව්‍යාපෘතියකට ප්‍රවිෂ්ට වන මාර්ගය සඳහා මෙම ඉඩමෙන් පර්චස් 10.08ක කොටසක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත. 

(ii) සීමාසහිත ඇට්ලන්ට්ස් සංවර්ධන (පුද්ගලික) සමාගම.

(iii) ව්‍යාපාරික කටයුත්තක් සඳහා නොවේ. නිවැසියන් සඳහා ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ට වන පොදු මාර්ගයක් ලෙස මහජන කටයුත්තකට භාවිත කිරීම පිණිස යොදා ගැනීමට.

  (iv) (1) රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව පරිදි බදු පදනම මත ලබා දීමට.

(2) එම සංවර්ධන ව්‍යාපෘතිය නිසා ඉහළ යන වටිනාකම සැලකිල්ලට ගෙන මෙම ඉඩම් කොටස තක්සේරු කිරීමට.

(3) නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දී ඇති බදු කාලය නොඉක්මවීමට.

(4) අදාළ ඉඩම් කොටසට වාර්ෂිකව බදු අය කිරීම හෝ බදුකරයේ සම්පූර්ණ කාලය සඳහාම වන බදු මුදල එකවර අය කිරීමට.

(5) මෙම ක්‍රියාවලිය නිසා ඉවත් කරනු ලබන මායිම් තාප්පයේ අදාළ කොටස එම සමාගමේ වියදමින් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධීක්ෂණය යටතේ ඉදි කිරීමට.

(6) මෙමඟින් ලබා ගන්නා මුදල් දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීමට.

  (v) රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව හා බදු කොන්දේසි අනුව දෙනු ලබන මිල තීරණය කෙරේ.

(ආ) (i) ඔව්.

(ii) මෙමඟින් ලැබෙන මුදලින් දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ඉඩ පහසුකම් ඇතුළු සංවර්ධන කාර්යයන් ප්‍රමුඛතාව මත ඉටු කෙරේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks