01

E   |     |  

 දිනය: 2013-06-05   පිළිතුර ලබා දී ඇත 

3290/2013: සෞදි අරාබියාවේදී මිය ගිය සුරේඛා ද සිල්වා : වන්දි

3290/’12

 

ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොළඹ, මරදාන ප්‍රදේශයේ පිහිටි අල් අතීස් විදේශ රැකියා ආයතනය මගින් ඩබ්ලිව්. එම්. සුරේඛා ද සිල්වා යන තරුණිය රැකියාවක් සඳහා සෞදි අරාබියට යවා ඇති බවත්;

  (ii)  එහිදී ඇය මිය ගොස් ඇති බවත්;

  (iii)  ඇය විදේශගත කිරීමට එම විදේශ රැකියා ආයතනය ව්‍යාජ පොලිස් වාර්තා ඇතුළු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත්; 

එතුමා දන්නෙහිද?

(ආ)  ව්‍යාජ තොරතුරු මත ඉහත සඳහන් තරුණිය විදේශගත කිරීමට ක්‍රියා කළ එම ආයතනයට විරුද්ධව ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  සුරේඛා ද සිල්වා නමැත්තිය මියයාමට හේතුව මේ වන විට අනාවරණය කරගෙන තිබේද;

  (ii)  එසේ නම්, එම හේතුව කවරේද;

  (iii)  එම මරණයට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන්නේද;

  (iv)  මියගිය තරුණිය වෙනුවෙන් ඇයගේ දෙමාපියන්ට හිමිවිය යුතු වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-05

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කොළඹ, මරදාන ප්‍රදේශයේ පිහිටි Al Atheeq Manpower (LL.2054)  විදේශ රැකියා නියෝජිත ආයතනය මඟින් ගමන් බලපත්‍ර අංක NO 432396 හිමි ඩබ්ලිව්.එම්. සුරේඛා ද සිල්වා නැමැති අය ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියට යාම සඳහා 2012.09.21 දින ලියා පදිංචි කර ඇත.

              (ii)      2012.09.25 දින ඇය මියගොස් ඇත.

(iii) ඇය විදේශගත කිරීම සඳහා ලබා ගෙන ඇති වීසා බලපත්‍රය සහ සේවා ගිවිසුමේ පිටපත්  අමුණා ඇත. ඇමුණුම 01 බලන්න. 

කාර්යාංශය ලියා පදිංචිය සඳහා පොලිස් වාර්තා ලබා ගන්නේ නැත.

(ආ) ඉහත ගෘහ සේවිකාව ව්‍යාජ තොරතුරු මත විදේශගත කළ බවට සාක්ෂි නොමැති බැවින් දේශීය රැකියා ‍නියෝජිත ආයතනයට විරුද්ධව ක්‍රියා කර නැත.

(ඇ) (i) ඔව්.

(ii) හෘදයවස්තුව අකර්මණ්‍ය වීමකි. මෙම අය සියදිවි හානි කරගෙන ඇති බව තානාපති කාර්යාලය විසින් දන්වා ඇත.  ඇමුණුම අංක 02 බලන්න.

(iii) ඔව්. මේ සමඟ අමුණා ඇත. ඇමුණුම 03 බලන්න. ඇමුණුම් සභාගත*  කරමි. 

(iv) සෞදි අරාබියේ දී මරණයට පත්ව ඇති ඩබ්ලිව්.එම්. සුරේඛා ද සිල්වා යන අය වෙනුවෙන් මරණ වන්දි හිමිකම් සඳහා ඇයගේ මව, පියා ඉදිරිපත් වි ඇත.

එම වන්දි ඉල්ලුම්කරුවන් විසින් දිගින් දිගටම කාර්යාංශය ලබා දෙන උපදෙස්වලට අනුව තොරතුරු නොසපයන බැවින් FA/01226/2013 අංක දරන වන්දි ලිපිගොනුව අඩු පාඩු සහිතව විදේශ රැකියා පුද්ගලික සමාගම වෙත 2013.03.22 වන දින යොමු කර ඇත. එම ආයතනය විසින් එම ලිපි ගොනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කර ඇත. නමුත් එහි පවතින අඩුපාඩු නිසා මේ වනවිටත් එම වන්දි මුදල අනුමත වී නොමැති අතර එම අඩු පාඩු ලබාදෙන ලෙස එම ආයතනය මඟින් වන්දි ඉල්ලුම්කරුවන් දැනුවත් කර ඇති බව දුරකථනය මඟින් විමසීම් කිරීමේ දී දැනගත හැකි විය.

අඩු පාඩු සහිතව හෝ රක්ෂණ ආයතනය වෙත ලිපි ගොනුව ඉදිරිපත් කරන්නේ නියමිත කාලය ඇතුළත වන්දි ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතුව තිබෙන බැවිනි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශය මඟින් වන්දි මුදල් ගෙවීම සඳහා අනුමැතිය ලබා ගත යුතු අතර එම ලිපිගොනුවේද ඇති අඩු පාඩු නිසා අනුමැතිය ලැබී නොමැත.

එම අඩු පාඩු සම්පූර්ණ කර දෙන ලෙස 2013.04.24 සහ 2013.06.25 දිනැති ලිපි 02ක් මඟින් ඉල්ලුම්කරුවන් දැනුවත් කර ඇත. එම ලිපිවල පිටපත් මේ සමඟ අමුණා එවමි.

එම ලිපි සභාගත* කරමි.

ඒ අනුව අදාළ උරුමක්කරු දිවුරුම් ‍පෙත්සමක් මඟින් කරුණු ඉදිරිපත් කර ඇති අතර, රක්ෂණ ආයතනය මඟින් හිමිකම් මුදල් අනුමත කර අප වෙත ඒ පිළිබඳ විස්තර දැනුම් දිය යුතු බවද,          මේ පිළිබඳව පසු විපරම් සිදු කරමින් පවතින බවද, මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් තොරතුරු ලබා දීම සඳහා ඒ අයට දැනුම් දී තිබෙනවා. ඒ                සඳහා නිවැරදි ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් කාර්යාංශයේ, සජීවා කුමාරි වීරසේකර නිලධාරිනිය 13.09.01 දින, මියගිය විගමණික සේවිකාවගේ නිවස වෙත ගොස් -ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කර- නිවැරදි තොරතුරු ලබා ගෙන තිබෙනවා. ඒ තොරතුරු අනුව දැන් රක්ෂණ සංස්ථාවට එම ලේඛන යොමු කරලා අදාළ චෙක්පත ඒ අයට ලබන සතියේදී ලබා දීමට අපි අවශ්‍ය කරන කටයුතු කරලා තිබෙනවා. 

 

(ඈ) පැන නොනඟී.

 

—————————

* පුස්තකාලයේ තබා ඇත.

* நூனிலையத்தில் வைக்கப்பட்டுள்ளது.

* Placed in the Library.

 

පිළිතුරු දුන් දිනය

2013-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks