01

E   |     |  

 දිනය: 2013-05-23   පිළිතුර ලබා දී ඇත 

3286/2013: රජයේ භාෂා පරිවර්තක සේවය: නිලධාරි හිඟය

3286/’12

 

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)       ඒකාබද්ධ සේවයට අයත් රජයේ භාෂා පරිවර්තක සේවය තුළ උග්‍ර නිලධාරී හිඟයක් පවත්නා බවත්;

            (ii)       එම සේවයට බැඳීමට හා සේවයේ රැඳීමට දිරිදෙන වැටුප් හා වරප්‍රසාද ලබා නොදීම තුළ බාහිරින් පිරිස් සේවයට ආකර්ෂණය නොවීමත්, සේවයට බැඳුනු පිරිස්ද නොකඩවා සේවය හැරයාමත් මෙම නිලධාරී හිඟයට හේතුවන බවත්;

(iii) අංක 06/2006 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් සමස්ත සේවය, පෙරදී එයට සමාන්තරව පැවති සෙසු සේවා හා සාපේක්ෂව වැටුප් පරිමාණ අගයන්ගෙන් පහත හෙළා ඇති බවත්;

(iv) මෙම තත්ත්වය ත්‍රිභාෂාමය ශ්‍රී ලංකාවක් උදෙසා වූ වැඩපිළිවෙළට මුළුමනින්ම පටහැනිවූවක් බවත්;

එතුමා දන්නෙහිද?      

(ආ) (i) ඉහත භාෂා පරිවර්තක සේවයට අහිමි කරන ලද නිසි පිළිගැනීම හා සේවා තත්ත්වය නැවත ලබාදීම සඳහා මේ වනවිට පියවර ගෙන ති‍බේද;

(ii) එසේ නම්, ගනු ලැබ ඇති එම පියවර කවරේද;

(iii) එම පියවර ක්‍රියාත්මක කරන දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-05-23

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        භාෂා පරිවර්තක සේවයේ වාර්තා වන පුරප්පාඩු සංඛ්‍යාව  136කි.

              (ii)        වැඩි වරප්‍රසාද වැටුප් සහිත වෙනත් තනතුරු සොයා යාම භාෂා පරිවර්තක සේවයට පමණක් නොව රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවාවන් නොවන සෑම සේවාවකටම පොදු ලක්ෂණයකි.

             (iii)      භාෂා පරිවර්තක සේවයේ දැනට සිටින කිසිදු නිලධාරියෙකුට ලැබෙන වැටුප අඩු වීමක් සිදුව නැත. භාෂා පරිවර්තක සේවයේ ආරම්භක වැටුප රුපියල් 21,245.00කි.

(iv) පිළි නොගනී.

(ආ) (i) භාෂා පරිවර්තක සේවයට පවතින පිළිගැනීමේ අහිමි වීමක් සිදු කර නැත. කෙසේ වුවද භාෂා පරිවර්තක සේවයට පැවති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් ඇති කිරීමට පියවර ගෙන ඇත.

(ii) 1.  භාෂා පරිවර්තක සේවය සඳහා නව සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඇත.

2.  පුහුණු අවස්ථාවන් ඇති කිරීම සඳහා කටයුතු කරගෙන යනු ලබයි.

(iii) නව සේවා ව්‍යවස්ථාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා අමාත්‍ය මණ්ඩලය මඟින් පිළිගනු ලැබූ දිනය වන විට.  

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2013-10-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු විජය දහනායක මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks