01

E   |     |  

 දිනය: 2012-12-04   පිළිතුර ලබා දී ඇත 

2962/2012: ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි මාසික දීමනාව : සමෘද්ධි සහනාධාර

2962/’12

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      සමෘද්ධි සහනාධාර ලබන වයස අවුරුදු 70ට වැඩි පුරවැසියන්ට රුපියල් 1,000ක මාසික දීමනාවක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බැවින් ඔවුන්ට හිමිවූ සමෘද්ධි සහනාධාර අහෝසි කිරීමට සුදානමක් තිබෙන බව එතුමා  දන්නෙහිද?                

(ආ) (i) වයස අවුරුදු 70ට වැඩි පුරවැසියන්ට සමෘද්ධි සහනාධාර ලබා දීම සඳහා  මාසිකව රජය විසින් වැය කරනු ලැබූ මුළු මුදල ‍කොපමණද;

(ii) ඉහත සඳහන් රු.1000ක දීමනාව  ලබාදීම හේතුවෙන් දැනට ලබාදෙන සමෘද්ධි සහනාධාර කපා දැමීමට අනුමතිය ලබා දී තිබේද;

(iii) රුපියල් 1000ක දීමනාව ලබාදීම හේතුවෙන් දැනට ලැබෙන සමෘද්ධි සහනාධාර කපා දැමීම වෙනුවට එම දීමනාව සමග  සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?    

 

අසන ලද දිනය

2012-12-04

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා (ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு  லக்ஷ்மன் யாப்பா அபேவர்தன - பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர்)

(The Hon. Lakshman Yapa Abeywardena - Deputy Minister of Economic Development)

ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)       සමෘද්ධි සහනාධාරය අහෝසි කිරීමක් කිසි සේත්ම සිදු නොවේ. වයස අවුරුදු 70ට වැඩි තනි පුද්ගලයන් සඳහා මෙතෙක් හිමිව තිබූ මුදල් සහනාධාරය හැර සියලුම ප්‍රතිලාභ හිමි වේ. අහෝසි වන මුදල් සහනාධාරය (රුපියල් 695/=) වෙනුවට සමාජ සේවා අමාත්‍යාංශය මඟින් මාසිකව රුපියල් 1,000/-ක දීමනාවක් දැනට ලබා දෙනු ඇත.

(ආ) (i) වයස අවුරුදු 70ට වැඩි පුරවැසියන්ට සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා මාසිකව රජය විසින් වැය කරනු ලැබූ මුළු මුදල - ප්‍රතිලාභින් 65,533ක් සඳහා රුපියල් මිලියන 49කි.

(ii)  සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන රුපියල් 1,000/-ක දීමනාව ලබා ගත් බවට ප්‍රාදේශීය ලේකම් පෞද්ගලිකව සෑහීමකට පත් වූ පසු අවුරුදු 70ට වැඩි තනි පුද්ගලයන් සඳහා හිමි මුදල් සහනාධාරය පමණක් අහෝසි කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර, ඔවුන්ගේ අනිකුත් ප්‍රතිලාභ තවදුරටත් රඳවා ගත යුතු බවට උපදෙස් දී ඇත.

(iii)  නැත.

රජය විසින් ලබා දෙන සහනාධාර වැඩසටහන් දෙකක ප්‍රතිලාභ එකම ප්‍රතිලාභියෙකු වෙත ලබා දීම මේ රජයේ ප්‍රතිපත්තිය නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2012-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks