බලන්න

E   |   த   |  

 දිනය: 2026-08-19   පිළිතුර ලබා දී ඇත 

2181/2026: ගම්පහ, කැබැල්ලගහලන්ද සුසාන භූමියට අයත් ඉඩම් කොටසක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම: ක්‍රියාමාර්ග

ගරු චමින්ද ලලිත් කුමාර මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 44 බී, කලුඅග්ගල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කැබැල්ලගහලන්ද සුසාන භූමියට අයත් ඉඩමෙන් කොටසක් පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවත්;

(ii) එම ඉඩම් කොටස නැවත සුසාන භූමියට ලබා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සුසාන භූමිය බලහත්කාරයෙන් භාවිතා කරනු ලබන පුද්ගලයන්ගෙන් එසේ භාවිතා කරනු ලැබූ කාලසීමාව සඳහා යම් මුදලක් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නේද;

(ii) රජය සතු ඉඩමක් පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iii) ඒ සඳහා ගතවන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-19

අසන ලද්දේ

ගරු චමින්ද ලලිත් කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      අනවසර අල්ලා ගැනීමක් සිදු වී ඇති බව වාර්තා වී ඇත.

              (ii)      අනවසර අල්ලා ගැනීම සම්බන්ධයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් කොමසාරිස් ජනරාල් හා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දැනුවත් කර අවශ්‍ය සම්බන්ධීකරණය කරමින් හා උපදෙස් ලබා ගනිමින් කටයුතු කරනු ලබයි.

(ආ) (i) 1979 අංක 07 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත යටතේ පවතින ප්‍රතිපාදන අනුව කටයුතු කරනු ලැබේ.

(ii) රජය සතු ඉඩමක් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් භුක්ති විඳින විටෙක, 1979 අංක 07 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත යටතේ කටයුතු කරනු ලැබේ.

(iii) 1979 අංක 07 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත යටතේ නිශ්චය කර ඇති කාල සීමාවන් මේ සඳහා අදාළ වේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-08-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks