E   |   த   |  

 දිනය: 2026-08-06   පිළිතුර ලබා දී ඇත 

2138/2026: වාර්ෂික ලොකු ලූනු නිෂ්පාදනය: විස්තර

ගරු දිනේෂ් හේමන්ත මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ලූනු පරිභෝජනය මෙට්‍රික් ටොන් කොපමණද;

            (ii)       එම පරිභෝජනයෙන් කොපමණ ප්‍රමාණයක් දේශීය ලොකු ලූනු නිෂ්පාදනය මඟින් සපුරාලනු ලබන්නේද;

(iii) ඉතිරි අවශ්‍යතාව සපුරාලීම සඳහා වාර්ෂිකව ආනයනය කරනු ලබන ලොකු ලූනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;

(iv) දේශීය ලොකු ලූනු අස්වනු නෙළන කාලසීමාව තුළ දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ආදායම සහ වෙළඳපොළ ආරක්ෂා කිරීම සඳහා, ආනයනික ලොකු ලූනු කිලෝවක් මත අය කරනු ලබන බදු සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මැදිහත්වීම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-06

අසන ලද්දේ

ගරු දිනේෂ් හේමන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 275,000ක්, 300,000ක් පමණ වේ.

             (ii)       

වර්ෂය

වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමාණය (මෙට්‍රික්ටොන්)

2026 යල (පුරෝකථන)

  36,000.0

2025

21,389.0

2024

8,828.2

2023

5,084.0

2022

17,799.0

2021

65,907.0

2020

43,018.0

2019

18,603.0

 

මේ අවුරුද්දේ -2026- අස්වැන්න හැටියට මෙට්‍රික්ටොන් 36,000ත්, 40,000ත් අතර ප්‍රමාණයක් අපේක්ෂිතයි.

ඒ අනුව 2025 වර්ෂය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලොකු ලූනු අවශ්‍යතාවෙන් සියයට 7කට ආසන්න ප්‍රමාණයක් දේශීය ලොකු ලූනු නිෂ්පාදනයෙන් සපුරා ගෙන ඇත.

ඒ කියන්නේ, 2025 අවුරුද්දේ දේශීයව නිෂ්පාදනය කරපු ලොකු ලූනු මෙට්‍රික්ටොන් 21,000කට ආසන්න ප්‍රමාණය ගැන සැලකුවාම, මුළු පරිභෝජනයෙන් සියයට 7කට ආසන්න ප්‍රමාණයක් තමයි තිබෙන්නේ, ගරු කථානායකතුමනි.

(iii)

වර්ෂය

වාර්ෂිකව ආනයනය කරනු ලැබූ ප්‍රමාණය (මෙට්‍රික්ටොන්)

2026 ජුනි

158,693.3

2025

273,207.4

2024

212,720.0

2023

294,463.0

2022

263,781.0

2021

257,421.0

2020

265,863.0

2019

240,102.0

 

 

 

 

 

 

 

 

 

 

(iv) සාමාන්‍යයෙන් දේශීය ලොකු ලූනු අස්වැන්න නෙළන කාල සීමාවන්හිදී, එනම් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළදී ආනයනික ලොකු ලූනු සඳහා අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද - Special Commodity Levy, SCL - ඉහළ නැංවීම සිදු කරයි. ඒ අනුව දැනට ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා මාසිකව රුපියල් 50ක බද්දක් පනවා ඇත.

මේ ගැන විශේෂයෙන් කියන්න ඕනෑ, ගරු කථානායකතුමනි. අපි ගිය වසරේ පනවපු බද්ද අඩු කළේ නැතිව, ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට අඛණ්ඩව රුපියල් 50 සීමාවේ පවත්වා ගෙන යනවා.

තවද, ලොකු ලූනු ඇතුළුව දේශීයව නිෂ්පාදනය කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි වෙළෙඳ පොළ මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අදාළ වන ප්‍රතිපත්තිමය තීරණ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයාගේ සම සභාපතිත්වයෙන් යුත් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් ගනු ලබයි.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks