E   |     |  

 දිනය: 2026-08-04   පිළිතුර ලබා දී ඇත 

2102/2026: බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත: විස්තර

ගරු සුජීව දිසානායක මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු  අමාත්‍යතුමා‍‍ගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත හඳුන්වාදුන් වර්ෂය කවරේද;

            (ii)       එම ආඥාපනත මේ වනවිටත් ක්‍රියාත්මක වන්නේද;

           (iii)       ආඥාපනත හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ කවරේද;

(iv) ආඥාපනතට යටත්ව ශ්‍රී ලංකාව තුළ පවතින ආගමික ආයතන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ආගමික ආයතන සතුව ඇති ඉඩම්වලින් බදු අය කිරීමට අවසර ලබාදී ඇති පනත කවරේද;

(ii) එම පනත හරහා බදු අය කළ හැකි සීමාව ප්‍රතිශතයක් ලෙස පැහැදිලිව දක්වා තිබේද;

(iii) යම් ආගමික ආයතනයක් සතුව ඇති ඉඩමක් බදු දිය හැකි උපරිම කාලසීමාව කොපමණද;

(iv) එවැනි එකඟතාවක් උල්ලංඝනය වුවහොත් අසාධාරණයට ලක්වන පාර්ශ්වයකට යුක්තිය ඉටු කර ගත හැකි ආකාරය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-04

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1931.

              (ii)      ඔව්.

             (iii)      එතුමා අහන්නේ ආඥාපනත හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණු පිළිබඳවයි. ගරු කථානායකතුමනි, පනතේම හඳුන්වා දී ඇති ආකාරයට අරමුණු තුනක් තිබෙනවා.

                        1905 බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනතේ විධිවිධානයන්ගෙන් බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පමණ ආරක්ෂාවක් නොලැබී තිබෙන බව පෙනී යන බැවින්ද,

එබඳු විහාර හා දේවාලගම්වලට එසේ සෑහෙන පමණ ආරක්ෂාව ලැබෙන පරිදි ඒ පිළිබඳව පාලන සංවිධාන ක්‍රමයක් සැලසීම යෝග්‍ය බැවින්ද,

ලංකාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් නීතිදායක මන්ත්‍රණ සභාවේ අනුශාසනයෙන් හා අනුමතයෙන් මෙම ආඥාපනත හඳුන්වා දී ඇත.

ගරු කථානායකතුමනි, "ලංකාණ්ඩුකාර උතුමාණන් වහන්සේ" යන යෙදුම්වලින්ම අපට පෙනෙනවා, මෙම ආඥාපනත කෙතරම් පැරණි සහ පැරණි යුගයක වුවමනාව සඳහා ද සකස් වෙලා තිබෙන්නේ කියලා.

(iv) 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනතේ 4(1) වගන්තිය යටතේ පාලනය වන සිද්ධස්ථාන සංඛ්‍යාව 254ක් වේ. අනෙකුත් සියලු සිද්ධස්ථාන 4(2) වගන්තිය යටතේ පාලනය වේ. 2025.12.31 දිනට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථාන සංඛ්‍යාව 10,499කි. විහාරස්ථාන ලියාපදිංචි කිරීමට අදාළව මෙම ආඥාපනත තුළ කරුණු ඇතුළත් වී නොමැත. ලියාපදිංචි කිරීම් සම්බන්ධව ප්‍රමිති සහ ප්‍රතිපාදන තිබෙන්නේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙතයි.

(ආ) (i) 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත.

(ii) නැත.

(iii) 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනතේ 29(3) වගන්තිය ප්‍රකාරව "කවර කරුණක් නිසාවත් කිසිම බද්දක් අනූනව අවුරුද්දකට වඩා කාලයකට නොදිය යුතුයි" යනුවෙන් සඳහන් වේ. එමෙන්ම 2006 වසරේදී නිකුත් කළ බෞද්ධ විහාර දේවාලගම් ඉඩම්වලට අදාළ ගැටලු පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව බදු කාලය සඳහා වර්ෂ 99ක් වැනි දීර්ඝ කාලයක උපරිමයක් තිබීම හේතුවෙන් බොහෝ ගැටලු ඇති වූ බව හෙළිදරව් විය. දැනට පරිපාලනමය වශයෙන් එම කාලය වසර 30ක සීමාවකට යටත් කර ඇත. ඒ අනුව වර්තමානයේදී වසර 30ක උපරිම කාලයකට යටත්ව බදු දීම් සිදු කරනු ලබයි.

(iv) බදු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය වී ඇත්නම් ගරු අධිකරණය මඟින් නීතිමය රැකවරණ ලබා ගැනීමට කිසිදු බාධාවක් නැත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-08-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks