E   |     |  

 දිනය: 2026-08-18   පිළිතුර ලබා දී ඇත 

2094/2026: කොළඹ දිස්ත්‍රික්කයේ රැකවරණය හෝ ජීවනෝපාය නොමැති වැඩිහිටියන්: සුබසාධනය සහ ආරක්ෂාව

ගරු දේවානන්ද සුරවීර මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)       (i)       සමීප ඥාතීන් නොමැති, ස්ථිර ජීවනෝපායක් නොමැති සහ කුලී නිවාසවල ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින වයෝවෘද්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ක්‍රමවේදයක් තිබේද;

   (ii) එසේ නම්, මේ දක්වා හඳුනාගෙන ඇති එවැනි වැඩිහිටියන් සංඛ්‍යාව කොපමණද;

   (iii) එම වැඩිහිටියන්ගේ සුරක්ෂාව සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටුවා ඇති ආයතන සංඛ්‍යාව කොපමණද;

      (iv) එම ආයතන සඳහා රජය විසින් දක්වන අනුග්‍රහය කවරේද;

      (v) සමස්තයක් ලෙස වැඩිහිටියන්ගේ සුරක්ෂාව සම්බන්ධ ගැටලුව වාර්ෂිකව වර්ධනය වන ප්‍රවණතාවක් පවතින බව දන්‍නේද;

   (vi) වැඩිහිටියන්ගේ සුරක්ෂාව සහ සුභසාධනය උදෙසා යෝජිත ඉදිරි සැලසුම් තිබේද;

(vii)    එසේ නම්, එම සැලසුම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-08-18

අසන ලද්දේ

ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දැනට නොමැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      ආයතනගත රැකවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන,

  • රජය මඟින් ඍජුව පාලනය වන වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන - නැත
  • පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ඍජුව පාලනය වන වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන - නැත
  • • පෞද්ගලික මට්ටමින්, රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන මට්ටමින්, ආගමික සංවිධාන විසින් හා වෙනත් වැඩිහිටියන් වෙනුවෙන් නේවාසික සත්කාර සපයන ආයතන විසින් පවත්වා ගෙන යනු ලබන වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන,

1. ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ 2026.07.28 දිනට ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව - 10

2. ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ 2026.07.28 දිනට ලියාපදිංචි නොවී පවත්වා ගෙන යන බවට වාර්තා වී ඇති සංඛ්‍යාව - 114

(iv) ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචිව නොමිලේ පවත්වා ගෙන යනු ලබන වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රමිතිගත කිරීම වෙනුවෙන් අවශ්‍ය අලුත්වැඩියාවන් සහ උපකරණ ලබා ගැනීමට එක් සුරැකුම් මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් ලබා දෙන අතර, 2025 වර්ෂයේ සුරැකුම් මධ්‍යස්ථාන 14කට එම ආධාර ලබා දී තිබෙනවා. 

(v) ඔව්.

(vi) ඔව්.

(vii) • වැඩිහිටි තැනැත්තන් සඳහා ආයතනගත රැකවරණය සපයනු ලබන මධ්‍යස්ථාන නියාමනයට අදාළ නියෝග හා මාර්ගෝපදේශ කෙටුම්පත් සකස් කර අවසන් අතර, එය නීතිගත කළ පසු වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන විධිමත්ව අධීක්ෂණය කරනු ලැබේ.

• ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යනු ලබන රැකවරණ මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සිදු කිරීම. (ණය යෝජනා ක්‍රම යනාදි)

• නොමිලේ පවත්වා ගෙන යනු ලබන රැකවරණ මධ්‍යස්ථාන සඳහා රජය මඟින් අවශ්‍ය අනුග්‍රහය ලබා දීම.

• වයස අවුරුදු 70 සම්පූර්ණ වැඩිහිටියන් වෙනුවෙන් ලබා දෙන ජීවනාධාර ගෙවීම් සියල්ල සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතිය හරහා විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම.

• එම වැඩිහිටියන් සඳහා වැඩිහිටි සුවසරණ සෞඛ්‍ය රක්ෂණාවරණය, ජාතික රක්ෂණ භාර අරමුදල හා එක්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.

• නිවාස තුළ වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම සහ ප්‍රජා මූලික වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම සහ ප්‍රජා මූලිකව වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ග්‍රාමීය වැඩිහිටි සමිති සවිබලගැන්වීම වෙනුවෙන් අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම.

• 2025 වර්ෂයේදී එළි දක්වන ලද ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් උපාය මාර්ගික සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය ලබා ගනිමින් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

• වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම.

• ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතිය යටතේ වවුනියාව, කිලිනොච්චිය, මඩකලපුව, කෑගල්ල, මාතලේ යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි ආදර්ශ වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු ක්‍රියාත්මක කරමින් පවතී.

• දැනට ක්‍රියාත්මක වන වැඩිහිටි දිවා මධ්‍යස්ථාන 200ක් විධිමත් වැඩිහිටි දිවා මධ්‍යස්ථාන මට්ටමින් රජයේ අනුග්‍රහයෙන් පවත්වා ගෙන යාමට අවශ්‍ය නිර්ණායක සකසා ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-08-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත පියතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks