පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරම්භ කිරීමේ අරමුණ කවරේද;
(ii) ‘රක්නා ආරක්ෂක ලංකා කුලුනු ව්‍යාපෘතිය’ නමින් වාණිජ කාර්යාල සංකීර්ණයක් ඉදිකර තිබේද;
(iii) එසේ නම්, ආරම්භ කළ වර්ෂය සහ අනුමැතිය ලබා දුන් පුද්ගලයන් කවුරුන්ද;
(iv) ව‍්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇති මුදල, ආයෝජන ක්ෂේත්‍ර සහ අරමුදල් සපයාගත් ආකාරය කවරේද;
(v) ආයෝජනය කිරීමේදී වෙළඳපොළ සමීක්ෂණයක් සිදු කර තිබේද;
(vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ව්‍යාපෘතියේ අරමුදල් වැය කිරීම සම්බන්ධයෙන් විගණනයක් සිදු කර තිබේද;
(ii) නොඑසේ නම්, ඒ සඳහා හේතු කවරේද;
(iii) ප්‍රසම්පාදන සහ මූල්‍ය මාර්ගෝපදේශ අනුගමනය කර තිබේද;
(iv) නොඑසේ නම්, එම ක්ෂේත්‍ර කවරේද;
(v) කොන්ත්‍රාත්කරුවන්ට සිදු කළ ගෙවීම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ව්‍යාපෘතියේ පිරිවැය සහ සමාගමේ වත්කම් සංසන්දනය කිරීමේදී මූල්‍ය අලාභයක් සිදුවී තිබේද;
(ii) එසේ නම්, එය කොපමණද;
(iii) එය සමාගමට දැරිය හැකි මට්ටමක තිබේද;
(iv) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධීක්ෂණ නිලධාරියෙකු පත් කර තිබේද;
(v) ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක වන්නේද;
(vi) එහි අරමුණු ඉටුවී තිබේද;
(vii) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-06-26
අසන ලද්දේ
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) "ආරක්ෂක සේවාවන් සැලසීම සඳහා" වේ.
සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමේ අරමුණින් 2006 දෙසැම්බර් 06වන දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 06/2330/206/083 යටතේ අනුමැතිය ලබා ගනිමින් මෙම සමාගම "ප්‍රමුඛ ආරක්ෂක ලංකා" නමින් ආරම්භ කර තිබේ. පසුකාලීනව "සී/ස රක්නා ආරක්ෂක ලංකා සමාගම" ලෙසින් මෙහි නාමය වෙනස් වූ අතර, ව්‍යාපාරික කටයුතු, ආරක්ෂක සේවාවන් සැලසීමට අමතරව සමුද්‍ර මෙහෙයුම් කටයුතු, මුදල් ප්‍රවාහන සේවාව, කේටරින් සේවාව, පවිත්‍රතා සේවාව යනාදී වශයෙන් පුළුල් වී තිබේ.
(ii) රක්නා ආරක්ෂක ලංකා සමාගම යටතේ විශේෂ ව්‍යාපෘතියක් හැටියට කුලුනු ව්‍යාපෘතියක් පටන්ගෙන තිබෙනවා. ඒ සම්බන්ධව තමයි පිළිතුර (ii) අදාළ වන්නේ.
2014 වර්ෂයේදී සමාගම සඳහා ප්‍රධාන කාර්යාලයක් ඉදි කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. 2015 වර්ෂයේදී ව්‍යාපෘතිය අත්හිටුවා ඇති අතර, 2019 වර්ෂයේදී නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඇත. එහිදී එවක මුදල් අමාත්‍යවරයා විසින්, ඉහළ වාණිජ වටිනාකමකින් යුතු මෙම භූමිය ප්‍රධාන කාර්යාලයක් වෙනුවට වෙනත් වාණිජ ව්‍යාපෘතියකට යොදාගත හැකි බව සඳහන් කරමින් යෝජනාවට එකඟ වී නොමැත.
ඒ අනුව, 2014 වර්ෂයේ සිට සිදු කළ මුදල් ආයෝජන සැලකිල්ලට ගනිමින් ගොඩනැඟිල්ල වාණිජමය ස්වරූපයෙන් සංවර්ධනය කිරීම සඳහා නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත. පසුව, 2022.04.27 දින ජාතික අය වැය චක්‍රලේඛ අංක 03/2022 අනුව රාජ්‍ය වියදම් පාලනය කිරීමේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව, එතැන් සිට මේ දක්වා ව්‍යාපෘති කටයුතු සිදු වී නොමැත.
(iii) රක්නා කුලුනු ව්‍යාපෘතිය වාණිජමය ස්වරූපයෙන් ආරම්භ කිරීම CP/21/0912/303/069 දරන 2021.05.17 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශය සඳහා අනුමැතිය 2021.05.24 ලබා ගනිමින් සිදු කර ඇත.
ඒකට වග කියන්න ඕනෑ කියලා නිර්දේශ කිරීමක් කරලා තිබෙන්නේ, ඒ කාල වකවානුවේ සිටි නිලධාරින්. ඒ කියන්නේ, විගණන වාර්තා අනුව සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුව යම් ව්‍යාපෘතියක වටිනාකම රුපියල් බිලියන 5 ඉක්මවන අවස්ථාවකදී කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ සහ තාක්ෂණ ඇගැයීම් කමිටුවේ නිර්දේශ කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට පෙර ගත යුතු වුවත්, එම ව්‍යාපෘතියට අදාළව 2022 වර්ෂයේදී එවැනි නිර්දේශයක් ලබා ගැනීමට හෝ කැබිනට් අනුමැතියක් ලබා ගැනීමට ක්‍රියා කර නොමැත. ඒ අනුව, රක්නා ආරක්ෂක ලංකා සමාගම රජය සතු සමාගමක් වශයෙන්, ඉදිකිරීම්වලට අදාළව කොන්ත්‍රාත් ලබා දීමේදී අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ අනෙකුත් මූල්‍යමය නියමයන් උල්ලංඝනය කරමින් ක්‍රියා කර ඇති බවයි පෙන්නුම් කරන්නේ. කොටස් තුනකිත් යුත් විගණන වාර්තාවල තමයි ඒ බව සඳහන් කර තිබෙන්නේ.
(iv) 2026.03.31 දින වන විට ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇති මුළු මුදල රුපියල් 2,050,488,718.13කි.
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස වාණිජ කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමේ අරමුණින් සිදු කරන ලද රක්නා කුලුනු ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 700ක බැංකු ණය මුදලක් ලබාගෙන ඇති අතර, ඉතිරි මුදල මව් සමාගම වන රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් යොදා ඇත.
(v) මෙම සමාගම සතුව පවතින තොරතුරුවලට අනුව - දැනට තිබෙන තොරතුරු අනුව ආරක්ෂක අමාත්‍යාංශය සොයා ගෙන තිබෙනවා - වෙළඳ පොළ සමීක්ෂණයක් සිදු කළ බවට තොරතුරු අනාවරණය නොවේ.
තවද MOD/CSD/03/16 (Rakna) (පොදු) දරන 2022.09.23 විගණන වාර්තාවේද දක්වා ඇත්තේ වෙළඳ පොළ සමීක්ෂණයක් සිදු කර නොමැති බවයි.
ව්‍යාපෘතියට අදාළව කිසිදු වෙළඳ පොළ සමීක්ෂණයක් සිදු කර නොමැති අතර වෙළඳ පොළ පරතරය, කර්මාන්තයෙහි ප්‍රවණතාව සහ කර්මාන්තය තුළ පවතින තරගකාරිත්වය පිළිබඳව නිසි වෙළඳ පොළ සමීක්ෂණයක් සහ අතිවිශාල ආයෝජනයක් සිදු කිරීමට ප්‍රථම ඉන් ලබන්නා වූ ප්‍රතිලාභ පිළිබඳව කිසිදු සහතිකයක් නොමැති බවද විගණන වාර්තා තුළින්ම සඳහන් කර තිබෙනවා.
(vi) එසේ නොකිරීම සඳහා හේතු සාධක අනාවරණ කර ගැනීමට හෝ එවක මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධව සිටි නිලධාරීන් සහ වගකිව යුතු පාර්ශ්ව මේ වන විට මෙම සමාගම තුළ රාජකාරි කටයුතු සිදු නොකරයි.
වෙළඳ පොළ සමීක්ෂණයක් සිදු වී ඇති බවට ලිඛිත සාක්ෂි නොමැති බැවින් එවැන්නක් සිදු වී නොමැති බව පමණක් සඳහන් කළ හැක.
(ආ) (i) විගණනය සිදු කර ඇත.
රක්නා කුලුනු ව්‍යාපෘතියට අදාළව සිදු කර ඇති විගණන විස්තර පහත පරිදි වේ.
Ø සමාගමේ අභ්‍යන්තර විගණන වාර්තාව: 2022.09.05 දිනැති අංක: RALL/IA/RPHL/2022/12(58)
Ø ආරක්ෂක අමාත්‍යාංශයේ විගණන වාර්තාව: 2022.09.23 දිනැති අංක: MOD/CSD/03/16 (Rakna) (පොදු)
Ø ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාව
2026.03.03 දිනැති අංක: DEF/B/ RALL/2022-23/01
මෙම විගණන විස්තර ඇතුළත තමයි මේ සියලු නිරීක්ෂණ ගෙනහැර දැක්වුවේ.
(ii) අදාළ නොවේ.
(iii) විගණන දෙපාර්තමේන්තුවේ 2026.03.03 දිනැති අංක DEF/B/RALL/2022-23/01 විශේෂ විගණන වාර්තාවට අනුව මූල්‍ය මාර්ගෝපදේශ අනුගමනය කර නොමැත. එවකට සිටි අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ අනුව සිදුකර ඇත.
(iv) අදාළ නොවේ.
(v) ඔව්. මේ දක්වා කොන්ත්‍රාත්කරුවන් වෙත සිදුකර ඇති ගෙවීම් පහත සඳහන් පරිදි වේ.
|
අ/අ |
කොන්ත්‍රාත්කරු |
ගෙවූ මුදල (රුපියල්) |
|
01 |
MAGA Engineering (Private) Limited |
1,575,024,583.15 |
|
02 |
The Design Group Five International (Pvt.) Ltd. |
319,203,608.98 |
|
03 |
Urban Development Authority |
156,260,526.00 |
|
එකතුව |
2,050,488,718.13 |
|
(ඇ) (i) සමාගමට අලාභයක් සිදු වී ඇත.
(ii) ඉහත සඳහන් ප්‍රාග්ධන වියදම්වලට අමතරව 2026.03.31 දින වනවිට ලබාගෙන ඇති බැංකු ණය සඳහා ගෙවූ පොලිය සහ පරිපාලන වියදම් ලෙස මේ වනවිට දරා ඇති මුළු වියදම රුපියල් 226,547,736.11ක් වේ. ව්‍යාපෘතිය නවතා දැමීම හේතුවෙන් එම වියදම සමාගමට සිදු වූ අලාභයක් බව විගණනය සඳහන් වේ.
(iii) නැත.
"රක්නා කුලුන ව්‍යාපෘතිය" වෙනම සමාගමක් ලෙස ස්ථාපිත කර තිබූ අතර ව්‍යාපෘතිය අවසන් වූ පසු ආදායම් උපයා ගත හැකි ආකාරයට සැලසුම් කර තිබුණි. මෙහි වෙනත් ආදායම් නොමැත. එබැවින් මේ වනවිටත් එහි පවත්වාගෙන යාමේ වියදම් දරනු ලබන්නේ මව් සමාගම වන රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් වන බැවින්, එම වියදම දැරීමට සමාගමට හැකියාවක් නොමැත.
(iv) මෙම සමාගම සතුව පවතින තොරතුරුවලට අනුව අධීක්ෂණ නිලධාරියෙකු පත් කර ඇති බවට තොරතුරු අනාවරණය නොවේ.
(v) 2022 අප්‍රේල් 27 දින රාජ්‍ය වියදම් පාලනය කිරීම මැයෙන් වන මුදල් අමාත්‍යාංශයේ ජාතික අය වැය චක්‍රලේඛ අංක 03/2022 පදනම් කරගනිමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන් විසින් ලිපියක් මෙම සමාගම වෙත යොමු කරමින් තාවකාලිකව මෙම ව්‍යාපෘති කටයුතු අත්හිටුවන ලෙසට දන්වා ඇත. සමාගමට දන්වලා තිබෙනවා. එම උපදෙස් පිළිපදිමින් සමාගම විසින් මෙම ව්‍යාපෘති කටයුතු අත්හිටුවීමට කටයුතු කර තිබේ. ඒ අනුව ව්‍යාපෘති කටයුතු අත්හිටවූ දින සිට මේ දක්වා ව්‍යාපෘති කටයුතු සිදු වී නොමැත.
(vi) ව්‍යාපෘති කටයුතු අත්හිටුවීමට සිදු වීම හේතුවෙන් එහි අරමුණු ඉටු වී නොමැත.
(vii) සමාගම විසින් ඉදිරියට - ඒ කියන්නේ අපි බලයට පත් වුණාට පස්සේ මේ ගැන විශේෂ අවධානයක් යොමු කළා - මෙම ව්‍යාපෘති කටයුතු සිදු කිරීම සඳහා කිසිදු ආකාරයකින් අපේක්ෂා නොකරන බවට පැහැදිලිව අරමුණු කරගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට කළද මේ සම්බන්ධයෙන් දැනටත් සමාගම සතුව පවතින වගකීම්වලින් නිදහස් වීමට සමාගම විසින් කටයුතු කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය - UDA එක - සමඟ ඇති කරගෙන තිබෙන 99 අවුරුදු බදු ගිවිසුම අවලංගු කර ගැනීම සඳහා මෙම සමාගම පියවර ගනිමින් පවතී. ඊට අදාළව වගකිව යුතු පාර්ශ්වයන්ගේ මැදිහත් වීම යටතේ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වන ලද අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙසින් UDA එක විසින් MUDC&H/2025/CP/146 දරන 2025 නොවැම්බර් 24 දරන අමාත්‍යාංශ සන්දේශය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. මීට අදාළව මෙම සමාගම විසින් එය 2025.12.22 වන දින ඉදිරිපත් කර ඇත.
මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා ඇත්තේ අදාළ භූමිය නැවතත් කඩිනමින් UDA එක වෙත ලබා දීමත්, ඊට අදාළ බදු ගිවිසුම අවලංගු කර ගැනීමත්, අදාළ ව්‍යාපෘතිය සඳහා UDA එක විසින් මැදිහත් වී නව ආයෝජකයකු සොයා ගැනීමට කටයුතු කිරීමත්, එලෙස ආයෝජකයෙකු වෙත මෙය පවරා දීමෙන් පසු මෙම සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා මෙතෙක් වියදම් කර තිබෙන මුදල්වලින් කුමන හෝ ප්‍රතිශතයක් ලබා ගැනීමේ හැකියාවක් පවතී නම් එය ලබා ගැනීමත් වේ. කෙසේ හෝ වේවා, පවත්නා ගැටලු සහගත තත්ත්වය කඩිනමින් නිරාකරණය කර ගැනීම මෙම සමාගමේ අපේක්ෂාව වේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks