logo

E   |     |  

 දිනය: 2026-05-19   පිළිතුර ලබා දී ඇත 

1949/2026: මාබෝල, ෆාතිමා පාර ක්‍රීඩාංගණය: වත්තල මාබෝල නගර සභා‍වට පවරා ගැනීම

1949/2026

 ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා,— රාජ්‍ය පරිපාලන,  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        ‍(i)      වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාබෝල, ෆාතිමා පාර ක්‍රීඩා පිටිය, වත්තල මාබෝල නගර සභාවට පවරා ගනු ලැබූ ආකාරය කවරේද;

(ii)  එම ඉඩම, වත්තල මාබෝල නගර සභාවේ හිටපු සභාපතිවරයා සතුව තිබූ ඉඩමක් බව දන්නේද;

(iii)   ඔහු නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී තමන් සතු ඉඩමක් නගර සභාවට අළෙවි කිරීම සිදු කිරීමට හැකියාවක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i)  වගුරු බිමක් වශයෙන් තිබූ එම ඉඩම ව්‍යාජ ඔප්පු සකසා  අළෙවි  කර ඇති බව දන්නේද;

(ii)  එසේ නම්, එම ඉඩම නගර සභාව විසින් මිලදී ගැනීමට වැය කළ මුදල කොපමණද;

(iii)   එම මිලදී ගැනීම නීත්‍යානුකූල වන්නේද;

(iv)  නොඑසේ නම්, අදාළ මිලදී ගැනීමට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-19

අසන ලද්දේ

ගරු ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මාබෝල ෆාතිමා පාර ක්‍රීඩාංගණයට අයත් ඉඩම කොටස් 03කින් නගර සභා ප්‍රතිපාදන යටතේ මිලදී ගෙන ඇත.

                          •   ඔප්පු අංක 787 - 2007.01.17 දින මිලදී ගෙන            ඇත.

                          •   ඔප්පු අංක 788 - 2007.01.17 දින මිලදී ගෙන            ඇත.

                          •   ඔප්පු අංක 1640 - 2012.02.02 දින මිලදී ගෙන            ඇත.

              (ii)      ඉඩම සඳහා නගර සභාව සතු ඔප්පු අනුව ඉඩමේ මුල් අයිතිකරු ජෝශප් එමලියන් සමරසිංහ නැමැත්තෙක් වන අතර, ඔහු නගර සභාවේ සභාපතිවරයෙක් වශයෙන් කටයුතු කර නොමැති බව ලේඛන අනුව සනාථ වේ.

(iii) අදාළ නොවේ.

(ආ) (i) ෆාතිමා පාර ක්‍රීඩා පිටියට අයත් ඉඩම් ඔප්පුවල මිල්ලගහකුඹුර සහ මිදෙල්ලගහකුඹුර නමැති ඉඩම ලෙස සඳහන්ව ඇති අතර, ෆාතිමා පාර ක්‍රීඩා පිටිය ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කරන ලද නගර සභාව සතු නීත්‍යනුකූල ඔප්පු සහිත වගුරු නොවන ඉඩමකි.

නමුත් ගරු කථානායකතුමනි, මේ ඔප්පුවල තිබෙන්නේ මිල්ලගහකුඹුර සහ මිදෙල්ලගහකුඹුර වශයෙන් නිසා මිලදී ගැනීමට පෙර කුඹුරක් හෝ වගුරු බිමක් හැටියට තිබුණාද කියන ප්‍රශ්නය තිබෙනවා.

(ii) • ඔප්පු අංක 787 - 2007.01.17 දින රුපියල් 4,275,000.00ක මුදලකට මිලදී ගෙන ඇත.

• ඔප්පු අංක 788 - 2007.01.17 දින රුපියල් 525,000.00ක මුදලකට මිලදී ගෙන ඇත.

• ඔප්පු අංක 1640 - 2012.02.02 දින රුපියල් 5,220,000.00ක මුදලකට මිලදී ගෙන ඇත.

• ක්‍රීඩා පිටිය සතු ඉඩම් කොටස් 03 මිලදී ගැනීම සඳහා රුපියල් 10,020,000.00ක මුදලක් වැය කර ඇත.

(iii) එම ඉඩම්, ඔප්පු මඟින් මිලදී ගෙන, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ නීත්‍යනුකූලව ඔප්පු ලියාපදිංචි කර ඇති බැවින් මිලදී ගැනීම නීත්‍යනුකූල වේ.

• ඔප්පු අංක 787 - 2007.01.17

• ඔප්පු අංක 788 - 2007.01.17

• ඔප්පු අංක 1640 - 2012.02.02

(iv) නීත්‍යනුකූලව අදාළ මිල දී ගැනීම සිදු කර ඇති බැවින් එවැනි අවශ්‍යතාවක් පැන නැඟී නොමැත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks