logo

01

E   |     |  

 දිනය: 2026-04-24   පිළිතුර ලබා දී ඇත 

1924/2026: කොළඹ දිස්ත්‍රික්කය තුළ විදේශගත ශ්‍රමික පවුල්වල පාසල් දරුවන්: පාසල් උපකරණ ලබා දීම

ගරු දේවානන්ද සුරවීර මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)        (i)       කොළඹ දිස්ත්‍රික්කය තුළ විදේශගත ශ්‍රමික පවුල්වලට අයත් පාසල් යන දරුවන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේද;

(iii) එසේ නම්, එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ක්‍රියාත්මක වන්නේද;

(iv) ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන විදේශ සේවා නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

(v) එකී  නිලධාරින් විසින් වාර්තා කර ඇති ආකාරයට වයස අවුරුදු 2-5,  6-10 සහ 11-18 දරන කාණ්ඩවල පාසල් දරුවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(vi) 2025 වර්ෂය සඳහා ලබාදී ඇති පාසල් උපකරණ ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබා දෙන දත්ත මත ඉහත තොරතුරු ඇතුළත් වාර්තාවක් ඉහත අ(iv)හි සඳහන් නිලධාරින්ට ලබා ගැනීමේ හැකියාවක් තිබේද;

(ii) පාසල් උපකරණ ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථා තිබේද;

(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් පවතින නිර්ණායක කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-04-24

අසන ලද්දේ

ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් අපි ලබා ගත් තොරතුරු අනුව එම සිසුන් සංඛ්‍යාව 23,545යි.

              (ii)      ඔව්. එම දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දෙනවා.

             (iii)      එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තමයි ලබා දෙන්නේ.

             (iv)      ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන විදේශ රැකියා සංවර්ධන නිලධාරින්ගේ සමස්ත සංඛ්‍යාව 896යි. කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුුයුක්තව සේවය කරනු ලබන විදේශ රැකියා සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව 32යි. එම තොරතුරු පහත වගුව මඟින් දක්වා ඇත.

 

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

අනුයුක්ත විදේශ රැකියා සංවර්ධන නිලධාරින් සංඛ්‍යාව

1

කඩුවෙල

2

2

කැස්බෑව

3

3

කොළඹ

3

4

කොළොන්නාව

4

5

කෝට්ටේ

2

6

තිඹිරිගස්යාය

2

7

දෙහිවල

2

8

පාදුක්ක

2

9

මහරගම

2

10

මොරටුව

2

11

රත්මලාන

3

12

සීතාවක

1

13

හෝමාගම

4

එකතුව

32

(v) අප සතුව තිබෙන සංඛ්‍යාලේඛන දත්ත අනුව එම වයස් කාණ්ඩවල දරුවන් සංඛ්‍යාව පහත වගුව මඟින් දක්වා ඇත.

 

වයස් කාණ්ඩය

දරුවන් සංඛ්‍යාව

අවුරුදු 3-5 අතර

449

අවුරුදු 6-10 අතර

9027

අවුරුදු 11-17 අතර

14069

(vi) 2025 අවුරුද්දේ මේ උපකරණ කට්ටල 6,734ක් විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් සඳහා ලබා දී තිබෙනවා. 

(ආ) (i) ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන විදේශ රැකියා සංවර්ධන නිලධාරින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අදාළ කරන තොරතුරු ලබා ගන්න පුළුවන්.

(ii) අදාළ විගමනික ශ්‍රමිකයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවීම, ශ්‍රී ලංකාවට ඇවිල්ලා අවුරුදු 5ක් ඉක්මවා තිබීම, ඒ නිශ්චිත මොහොත වනවිට අදාළ ලියාපදිංචිය අවලංගු වීම කියන කාරණා මත තමයි එම පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ලබා දීම ප්‍රතික්ෂේප වෙන්නේ.

(iii) • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු ලියාපදිංචියක් ලබා තිබීම.

• ශ්‍රී ලංකාවට පැමිණි විගමනික ශ්‍රමිකයෙකු නම් ශ්‍රී ලංකාවට පැමිණ වසර 5 නොඉක්මවීම.

• රජයේ හෝ පෞද්ගලික පාසලක හෝ පිරිවෙනක අධ්‍යාපනය ලබන දරුවෙකු වීම.

• ඒ බව සනාථ කිරීමට අදාළ පාසලෙහි විදුහල්පතිගේ සහතික කිරීම සහිතව උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීම.

• මීට පෙර පාසල් උපකරණ කට්ටලයක් ලබා ගෙන නොතිබීම.

• අදාළ අයදුම්පත සංවර්ධන නිලධාරි/ග්‍රාම නිලධාරි/ප්‍රාදේශීය ලේකම් නිර්දේශ, අනුමැතිය මත විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි පළාත් භාර කළමනාකරුවන් වෙත නිසි පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks