E   |     |  

 දිනය: 2026-08-06   පිළිතුර ලබා දී ඇත 

1761/2026: 2015-2019 දක්වා NHDA මඟින් ක්‍රියාත්මක කරන ලද අඩු ආදායම් ලාභී නිවාස ව්‍යාපෘති: විස්තර

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       වර්ෂ 2015 සිට 2019 දක්වා කාලසීමාව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු සහ මැදි ආදායම්ලාභීන් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද නිවාස ණය සහ නිවාස ආධාර ව්‍යාපෘති කවරේද;

(ii) එම එක් එක් ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම එක් එක් ව්‍යාපෘතිය සඳහා එක් එක් වර්ෂය තුළ වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහතින් සඳහන් කළ ව්‍යාපෘති යටතේ ඉදිකිරීම් ආරම්භ කරන ලද නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) එම ව්‍යාපෘති යට‍තේ 2019 වර්ෂය අවසන් වනවිට ඉදිකිරීම් අවසන්ව තිබූ නිවාස සහ ඉදිකිරීම් අවසන් කර නොතිබූ නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(vi) ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-08-06

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2015 - 2019 දක්වා කාල සීමාව තුළ දිවයින පුරා අඩු සහ මැදි ආදායම්ලාභීන් සඳහා පහත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක විස්තර ඇමුණුම 01හි සඳහන් කර ඇත.

                        ආධාර වැඩසටහන්:-

                          Ø    කපරාරු වැඩසටහන

                          Ø    ආදර්ශ ගම්මාන

                          Ø    සෙවණ ආධාර

Ø වකුගඩු ආධාර

Ø වැලිඔය තිරසර නිවාස ව්‍යාපෘතිය

Ø විරු සුමිතුරු

Ø ග්‍රාම ශක්ති විසිරි ආධාර

Ø සූර්යය උදාව - නිවහනක උදාව

Ø බෝගස්වැව ආධාර වැඩසටහන

 

ණය වැඩසටහන්:-

Ø විසිරි

Ø සම්පත් සෙවණ

Ø සොඳුරු පියස

 

ණය + ආධාර වැඩසටහන්:-

Ø විසිරි ණය + ආධාර

Ø ආදර්ශ ගම්මාන ණය + ආධාර ඉන්දියන් සමඟ

 

(ii) එක් එක් ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව පහත දැක්වෙන අතර, ඒ සම්බන්ධයෙන් විස්තර වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 හි සඳහන් කර ඇත.

Ø නිවාස ණය ප්‍රතිලාභි සංඛ්‍යාව 174,942කි.

විශේෂයෙන් 2015 සිට 2019 දක්වා සිටි නිවාස ණය ප්‍රතිලාභි සංඛ්‍යාව 174,942යි. 2015දී රුපියල් ලක්ෂයේ ණය ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තිබෙනවා. 2017, 2018 වාගේ වර්ෂවලදී රුපියල් ලක්ෂ 2, 3 වාගේ ණය ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තිබෙනවා. 2019 වනකොට රුපියල් ලක්ෂ පහේ ණය ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තිබෙනවා. නමුත් මේ කිසිවෙකුට ඒ සම්පූර්ණ මුදල දීලා නැහැ. මේක අසාර්ථකම ව්‍යාපෘතියක්. රුපියල් ලක්ෂයක් දෙනවා කියලා ඒ මිනිස්සුන්ට දීලා තිබෙන්නේ රුපියල් 20,000යි. රුපියල් ලක්ෂ පහක් දෙනවා කියලා ඒ මිනිසුන්ට දීලා තිබෙන්නේ රුපියල් 40,000යි. මේ 174,942 නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මේ මුදල් අය කරගන්න බැහැ. මේ මිනිස්සුන්ව ප්‍රෝඩාවකට ලක් කර තමයි ඒ මොහොතේදී මේ මුදල් ලබා දීලා තිබෙන්නේ. රුපියල් ලක්ෂයක් දෙනවා කියලා රුපියල් 20,000ක් දුන්නාම ඒ මිනිස්සු අමාරුවේ වැටිලා තිබෙන්නේ. ඒවා ගෙවාගන්න බැහැ. රුපියල් ලක්ෂ පහක් දෙනවා කියලා රුපියල් 40,000යි දීලා තිබෙන්නේ. ඒ මිනිස්සු අමාරුවේ වැටිලා තිබෙන්නේ. ගරු ඇමතිවරයෙක් ඉතාම සැලසුම් සහගත ලෙස අමාත්‍යාංශයක කටයුතු කරපු කාලපරිච්ඡේදයට අදාළ සටහන් තමයි මේ තිබෙන්නේ.

Ø නිවාස ආධාර ප්‍රතිලාභින් සංඛ්‍යාව 136,170යි.

මෙතැන ආධාර කියලා තිබෙන්නේ සිමෙන්ති කොට්ට පහ, දහය දීපු ඒවා. නිවාස සම්පූර්ණ කරගෙන නැහැ. ටකරන් ලබා දීපු නිවාස, තහඩු ලබා දීපු නිවාස තිබෙනවා. එවැනි නිවාස 6,000කට වඩා යාපනයේ තිබෙනවා. අද ඒ නිවාසවල තහඩු ආවරණය කරගෙන ඉන්නේ. බිත්තියක්වත් බැඳගන්න බැරුව ඒ මිනිස්සු අසරණව ජීවත් වෙනවා. මේ 136,170 ඇතුළේ තිබෙන්නේ එවැනි නිවාස. ඒවා සම්පූර්ණ වෙච්ච නිවාස නොවෙයි.

Ø නිවාස ණය සහ ආධාර ප්‍රතිලාභින් සංඛ්‍යාව 63,869යි.

සංඛ්‍යාලේඛන තමයි විශාල.  නමුත් මේවා‍යේ එහෙම ඉදිවීම් වෙලා නැහැ.

‍‍ ඒ අනුව මුළු ප්‍රතිලාභින් සංඛ්‍යාව 374,981කි.

(iii) එක් එක් ව්‍යාපෘතිය සඳහා අදාළ වර්ෂය තුළ වෙන් කළ ප්‍රතිපාදන පහතින් දක්වා ඇති අතර,  විස්තර වෙන් වෙන් වශයෙන් ඇමුණුම 03හි සඳහන් කර ඇත.

Ø නිවාස ණය ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 19,785.10

Ø නිවාස ආධාර ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 11,464.04

Ø නිවාස ණය සහ ආධාර ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 35,082.81

ඒ අනුව වෙන්කර ඇති මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 66,331.96කි.

රුපියල් මිලියන 66,331.96කින් - සම්පූර්ණ ලක්ෂ පහකට අදාළ නිවාස ව්‍යාපෘති - අවසන් කරලා තිබෙන්නේ, සාමාන්‍යයෙන් නිවාස 11,000කට ආසන්න ප්‍රමාණයක්.

 

(iv) එක් එක් ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් ආරම්භ කරන ලද නිවාස සංඛ්‍යාව පහත දැක්වෙන අතර, වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02හි සඳහන් කර ඇත.

 

Ø නිවාස ණය - ඉදිකිරීම් ආරම්භ කළ නිවාස සංඛ්‍යාව 174,942

Ø නිවාස ආධාර - ඉදිකිරීම් ආරම්භ කළ නිවාස සංඛ්‍යාව 136,170

Ø නිවාස ණය සහ ආධාර - ඉදිකිරීම් ආරම්භ කළ නිවාස සංඛ්‍යාව 63,869

ඒ අනුව ඉදිකිරීම් ආරම්භ කළ මුළු නිවාස සංඛ්‍යාව 374,981කි.

 

(v) 2019 වර්ෂය අවසන් වනවිට ඉදිකිරීම් අවසන් කර තිබූ නිවාස සහ ඉදිකිරීම් අවසන් කර නොතිබූ නිවාස සංඛ්‍යාව පහතින් දක්වා ඇති අතර, ඒවායෙහි විස්තර වෙන් වෙන් වශයෙන් ඇමුණුම් අංක 04 සහ 05හි දක්වා ඇත. 

ඉදිකිරීම් අවසන්ව ඇති නිවාස:

Ø ණය ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 95,357කි.

මෙය අවසන් කියලා කිව්වාට, මේ නිවාසත් රුපියල් ලක්ෂයක් දෙනවා කියලා ලක්ෂයම දීලා අවසන් කරපුවා නොවෙයි. ලක්ෂයකට රුපියල් 20,000යි දීලා තිබෙන්නේ. රුපියල් ලක්ෂ පහ දෙනවා කියලා රුපියල් 40,000යි දීලා තිබෙන්නේ. ඒ ආකාරයෙන් අවසන් වෙච්ච ඒවා තමයි මේ කියන්නේ.

Ø ආධාර ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 124,852යි.

මේකෙන් 116,000කට ආසන්නවම තිබෙන්නේ කපරාරු කරන්න සිමෙන්ති කොට්ට පහ, දහය දීපුවා; බිත්තියක් කපරාරු කරපුවා. මේ 124,000ක ප්‍රමාණය නිවාස විධියට හදලා අවසන් වුණු ඒවා නොවෙයි.

Ø ණය සහ ආධාර ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 30,089යි.

ඒ අනුව ඉදිකිරීම් අවසන්ව ඇති මුළු සංඛ්‍යාව 250,298කි.

 

ඉදිකිරීම් අවසන්ව නැති නිවාස:

Ø ණය ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 79,585යි.

Ø ආධාර ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 11,318යි.

Ø ණය සහ ආධාර ව්‍යාපෘති නිවාස සංඛ්‍යාව 33,780යි.

ඒ අනුව ඉදිකිරීම් අවසන්ව ඇති මුළු නිවාස සංඛ්‍යාව 124,683කි. ‍

(vi) 2019 වර්ෂයෙන් පසු පැවති රජයන් වෙනස්වීමත් සමඟ ප්‍රතිපාදන මුදල් නොලැබීම හේතුවෙන් හා පසුකාලීනව මුහුණ දුන් කොවිඩ් වසංගතය ‍හේතුවෙන් ඇති වූ ආර්ථික පරිහානිය නිසා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතන ලදී. ඒ වාගේම අවිධිමත්භාවය සහ නිවැරැදි කළමනාකරණයක් නොතිබීම හේතුවෙනුත් මේ නිවාස අවසන් කරගන්නට නොහැකි වෙලා තිබෙනවා.

එසේම මෙම වැඩසටහන් සහභාගිත්ව සංවර්ධන වැඩසටහන් ලෙස ක්‍රියාත්මක වූ බැවින් ප්‍රතිලාභින්ගේ දිළිඳුබව මත ලබාදුන් ආධාර මුදල් ප්‍රමාණවත් නොවීම හා ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල ඉහළ යාම ආදී කරුණු මත මෙම ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වී ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. සරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks