04

E   |     |  

 දිනය: 2025-11-29   පිළිතුර ලබා දී ඇත 

1570/2025: සමෘද්ධි සංවර්ධන නිලධාරින්: උසස්වීම් සහ විශ්‍රාම වැටුප් හිමිකම්

----

අසන ලද දිනය

2025-11-29

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මේ වෙනකොට විශ්‍රාම වැටුප් හිමිකම් ලබා දීම පිළිබඳවත්, ඒ හිඟ මුදල් ගෙවීම සම්බන්ධයෙනුත් පැවති ගැටලු සැලකිය යුතු ප්‍රමාණයකින් අපි විසඳලා තිබෙනවා, ගරු කථානායකතුමනි. නමුත් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය 1995දී පිහිටුවන අවස්ථාවේ බඳවාගත් ඇතැම් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට පැවතිය යුතු අවම අධ්‍යාපන සුදුසුකම් නොතිබීම නිසා තවදුරටත් විශ්‍රාම වැටුප් ගෙවීමේ ගැටලුවක් ඉතිරි වෙලා තිබෙනවා, ගරු කථානායකතුමනි. මේ තත්ත්වය යටතේ විශේෂයෙන් 2016දී අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන තිබෙනවා, ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය යටතේ බඳවාගත් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ අවම අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති නිලධාරින් සඳහා වෛකල්පිත විශ්‍රාම යෑමේ දිනයෙන් ඔබ්බට සේවා දිගු ලබා නොදීමට. නමුත් මේ තීරණය නිසි පරිදි ක්‍රියාත්මක කරලා නැහැ, පසුගිය කාලයේ. ගරු කථානායකතුමනි, එහි ප්‍රතිඵලයක් විධිය‍ට මේ වනවිටත් විශේෂයෙන් අවම අධ්‍යාපන සුදුසුකම් සපුරා නැති අවුරුදු 55න් ඔබ්බටත් සේවය කළ යම් පිරිසක් ඉන්නවා. අන්න ඒ අයගේ ගැටලුව විසඳීම සඳහා මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඒ එක් එක් නිලධාරින් සම්බන්ධයෙන් විශේෂයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගැනීම සඳහා අපි අවශ්‍ය කටයුතු යොදමින් ඉන්නවා, ගරු කථානායකතුමනි.

(ii) මා කලින් කිව්වා වාගේ මේ ගැටලුව විසඳීම සඳහා නිශ්චිත තොරතුරු රැස්කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා.  අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති අවුරුදු 55න් ඔබ්බට සේවය කරන නිලධාරින් මේ වනවිටත් සිටින්නේ නම් වහාම ඔවුන්ගේ සේවය අවසන් කිරීමට තීරණයක් අරගෙන තිබෙනවා. ඒ වාගේම වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට ඇති එවැනි අවම අධ්‍යාපන සුදුසුකම් සපුරා නැති අයගේ සේවය නියමිත දිනයට අවසන් කිරීමටත් කටයුතු කරන ලෙස සියලු දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන් වෙත මේ වනකොට අපි දැනුම් දීලා තිබෙනවා. 

(iii)  මේ ප්‍රශ්නයෙන් අහන්නේ, උසස්වීම් දීමේ පටිපාටිය පිළිබඳවයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි නිලධාරින්ගේ උසස්වීම් පටිපාටියක් ආරම්භයේ සිටම තිබිලා නැහැ, ගරු කථානායකතුමනි. නමුත් 2023 නොවැම්බර් මාසයේ 01වැනි දා විශේෂයෙන්ම සමෘද්ධි කළමනාකරණ සහකාර තනතුරක් සඳහා අවසර ලබාගෙන තිබෙනවා. නමුත් ඒ තීරණය ක්‍රියාත්මක  කරලා නැහැ, අපි බලයට පත් වෙන 2024 අග භාගය වනවිටත්. මේ තත්ත්වය සැලකිල්ලට ලක් කරලා  අපි ආණ්ඩු බලය ලබා ගත්තාට පසුව සමෘද්ධි සංවර්ධන නිලධාරින් සඳහා උසස්වීම් පටිපාටියක් හඳුන්වා දුන්නා. ඒ අනුව, කළමනාකරණ සහකාර තනතුරේ - MN-2 - උසස්වීම් සඳහා වන වැටුප් කේතවල පැවැති තත්ත්වයන් සමාලෝචනය කරලා, අලුත් යෝජනාවක් අනුව 2025 දෙසැම්බර් 22වැනි දින අපි ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන තිබෙනවා. ඒ අමාත්‍ය මණ්ඩල තීරණය මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කරලා තිබෙනවා.

ඒ වාගේම සමෘද්ධි කළමනාකරු තනතුර සඳහා උසස්වීම් පටිපාටියක් සකස් කරලා, ඒකත් අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරලා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ සමඟ මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේ තිබෙන බඳවා ගැනීමේ සමාලෝචන කමිටුව වෙත යොමු කරලා තිබෙනවා. මෙතෙක් සමෘද්ධි කළමනාකරු නිලධාරින් සඳහා උසස්වීමේ පටිපාටියක් අනුගමනය කරලා තිබුණේ නැහැ. ගරු කථානායකතුමනි, ඒ අනුව අපි ඔවුන් සඳහා උසස්වීමේ ක්‍රමවේදයක් හදලා, පසුගිය වසරක කාලය තුළ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.

(iv) ගරු කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතිකාවක් තිබුණා. විශේෂයෙන්ම අපි ආණ්ඩු බලය ගත්තාට පස්සේ පසුගිය වර්ෂය තුළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම බැංකු රජයේ විගණනයට යටත් කිරීම සඳහා Act එකක් ගෙනැල්ලා අදාළ පනත සංශෝධනය කළා. ඒ අනුව මේ වන විට අපට විගණන කටයුතුවල විනිවිදභාවය ආරක්ෂා කර ගන්න පුළුවන් වෙලා තිබෙනවා.

ඒත් එක්කම, විශේෂයෙන්ම අභ්‍යන්තර විමර්ශන නිලධාරින්ගේ ධාරිතාව වර්ධනය කිරීම සඳහා පසුගිය වසරේ පුහුණු වැඩසටහන් ගණනාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව අපි ඔවුන්ගේ ධාරිතාව වැඩි කිරීම සඳහා කටයුතු කර තිබෙනවා.

(v) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන ඒකකය හා විමර්ශන ඒකකය ඒකාබද්ධ කරලා මූල්‍ය අක්‍රමිකතා හා දූෂණ ක්‍රියාවලිය අවම කිරීමට ඒකාබද්ධ යන්ත්‍රණයක් සකස් කරලා මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් සිටිනවා.

(ආ) සමෘද්ධි බැංකු කාලාන්තරයක් තිස්සේ පරිගණක ක්‍රියාවලියකට යොමු කරලා තිබුණේ නැහැ. ඒ සඳහා පරිගණක මෘදුකාංග පද්ධතියක් ලබා ගැනීම සඳහා අපි මේ වන විට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරලා තිබෙනවා.  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව සමෘද්ධි බැංකු 1,097ක් සහ සමෘද්ධි සමිති 335ක් තිබෙනවා. ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට manual ක්‍රමය අතහැර පරිගණකගත කිරීමේ ක්‍රියාවලියට යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රජාමූල බැංකු 450ක් මේ වන විට තැන්පතුවලට අදාළ ලෙජර් කටයුතු manual ක්‍රමයට කිරීම අතහැර තිබෙනවා, ගරු කථානායකතුමනි. නමුත්, මම කලින් කිව්වා වාගේ සමස්තයක් විධියට ගත්තාම සමෘද්ධි බැංකු 1,097ක් සහ සමෘද්ධි සමිති 335ක් තිබෙන නිසා බොහෝ වෙලාවට එක් එක් බැංකුව කටයුතු කරන ක්‍රමය වෙනස්. එම නිසා, සියලුම බැංකු එකම ජාලගත ඩිජිටල් වේදිකාවකට ගෙනඒම සඳහා අපි පසුගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. අපි ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරලා, බැංකු ටික තනි, තනි විධියට තිබියදී ඩිජිටල් ක්‍රමවේදයක් හරහා සියලුම බැංකු එක් ජාලයකට පරිගණකගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කරලා තිබෙනවා, ගරු කථානායකතුමනි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-01-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks