01

E   |     |  

 දිනය: 2025-12-09   පිළිතුර ලබා දී ඇත 

1560/2025: "සුව සැරිය" ගිලන් රථ සේවාව: මඩකලපුව දිස්ත්‍රික්කය

1560/2025

ගරු කන්දසාමි ප්‍රභු මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      මඩකලපුව දිස්ත්‍රික්කය තුළ —

              (i)   ‘1990 - සුව සැරිය’ ගිලන්රථ සේවාව කාර්යක්ෂමව ක්‍රියාත්මක වන්නේද;

             (ii)   මේ වනවිට සේවයේ යො‍දවා ඇති ගිලන්රථ සංඛ්‍යාව කොපමණද;

(iii) සේවක හිඟය හෝ තාක්ෂණික කරුණු පදනම්ව මේ වනවිට ක්‍රියාත්මක නොවන ගිලන්රථ සංඛ්‍යාව කොපමණද;

(iv) සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පැය 24 මුළුල්ලේම සේවාව ලබාදීමට ගෙන ඇති පියවර ක‍වරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවලට ගිලන්රථ පැමිණීම ප්‍රමාද වන බවට මහජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බව දන්නේද;

(ii) එසේ නම්, එයට හේතු කවරේද;

(iii) ප්‍රතිචාර දැක්වීමේ වේගය අධීක්ෂණය කිරීමට සහ එය ඉහළ නැංවීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පුහුණු හදිසි වෛද්‍ය තාක්ෂණික නිලධාරින්ගේ (EMT) හිඟයක් පවතින්නේද;

(ii) එසේ නම්, එම පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iii) අමතර ගිලන්රථ හෝ පහසුකම් ලබා දීම මඟින් මෙම සේවාව පුළුල් කිරීමට සැලසුම් සකස් කර තිබේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-12-09

අසන ලද්දේ

ගරු කන්දසාමි ප්‍රභු මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      07කි.

            (iii)      සේවක හිඟය මත ගිලන් රථ ක්‍රියාත්මක නොවීමක් සිදුවී නොමැත. නමුත් දැනට ගිලන් රථ 2ක් සුළු අලුත්වැඩියාවන් සඳහා මඩකලපුව DIMO ආයතන ශාඛාව වෙත යොමු කර ඇත.

             (iv)      ඒ සියලු  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල 1990-සුව සැරිය සියලු  ගිලන් රථ පැය 24 මුළුල්ලේම සේවය ලබා දීමට ක්‍රියාත්මකව පවතී.

(ආ) (i) එවැනි පැමිණිල්ලක් මේ වනතෙක් ලැබී නොමැත.

(ii) අදාළ නොවේ.

(iii) ඔව්.

1990-සුවසැරිය ගිලන් රථ සේවයේ මෙහෙයුම් කටයුතු මේ වනවිටත් සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සිදු වන අතර, එමඟින් දැනටමත් ජනතාවට වඩාත් කඩිනම් හා කාර්යක්ෂම සේවයක් සුවසැරිය කාර්ය මණ්ඩලය විසින් ඉටු කරමින් පවතී.

(ඇ) (i) නැත.

(ii) අදාළ නොවේ.

(iii) ඔව්.

1990-සුවසැරිය ගිලන් රථ සේවයේ, ගිලන් රථ බලකාය - ambulance fleet එක - 500ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය ඉන්දියානු රජය සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සිදු කරමින් පවතී.

මම මේ පිළිබඳව මීට කලිනුත් පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය නව සේවක බඳවා ගැනීම් කටයුතු හා පුහුණුවීම් කටයුතු පුළුල් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව දැනට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨය මඟින් සිදු කරමින් පවතින හදිසි වෛද්‍ය තාක්ෂණික නිලධාරි - EMT - පුහුණු පාඨමාලාව, කැලණිය විශ්වවිද්‍යාලයට අමතරව කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර හා යාපනය විශ්වවිද්‍යාලවලද සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා, ගරු හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමනි. ඒ සම්බන්ධව අදාළ ආයතන සමඟ සාකච්ඡා කර තිබෙන්නේ.

දැනට දිවයින පුරා පොලිස් ස්ථාන 272ක් ආවරණය කරමින් පවතින 1990-සුවසැරිය ගිලන් රථ සේවය, 2027 වර්ෂයේ අවසාන භාගය වනවිට පොලිස් ස්ථාන 400ක් දක්වා වර්ධනය කොට වඩාත් කාර්යක්ෂම හා පුළුල් සේවාවක් ලබා දීමට සැලසුම් කර ඇත.

(ඈ) පැන නොනගී.

පිළිතුරු දුන් දිනය

2026-01-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks