01

E   |     |  

 දිනය: 2025-11-24   පිළිතුර ලබා දී ඇත 

1553/2025: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප: විස්තර

1553/2025

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති අධ්‍යාපන කලාප සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම කලාප කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තිබෙන පාසැල් වාර්ගිකත්වය අනුව අධ්‍යාපන කලාප තුනකට බෙදා ඇති බවත්;

(ii) මුස්ලිම් පාසැල් කින්නියා අධ්‍යාපන කලාපයටත්, දෙමළ පාසැල් ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයටත් සහ සිංහල පාසැල් කන්තලේ අධ්‍යාපන කලාපයටත් සම්බන්ධ කර ඇති බවත්;

           (iii)    ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ කුච්චවෙලි කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය යටතේ තිබෙන බොහෝ පාසැල්, කලාප අධ්‍යාපන කාර්යාලයේ සිට කිලෝමීටර් 50 කට අධික දුරින් පිහිටා ඇති බවත්;

එතුමිය පිළිගන්නෙහිද?

 (ඇ) ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ භූගෝලීය දුර සහ තඹලගමුව ප්‍රදේශයේ පාසැල් වාර්ගික පදනමින් වෙන් කර තිබීම සැලකිල්ලට ගෙන, අනාගතයේදී නව අධ්‍යාපන කලාප ඇති කිරීමේදී මෙම ප්‍රදේශ සඳහා වෙනම අධ්‍යාපන කලාප ඇති කිරීමට පියවර ගන්නේද,  යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-24

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති අධ්‍යාපන කලාප සංඛ්‍යාව 05කි.

(ii)    1.      ත්‍රිකුණාමලය කලාපය

2.      ත්‍රිකුණාමලය උතුර කලාපය

3.      මුතූර් කලාපය

4.      කන්තලේ කලාපය

5.       කින්නියා කලාපය

(ආ)         (i)       ඔව්.

  (ii)  ඔව්.

  (iii)  කුච්චවේලි කොට්ඨාසයට අයත් මුළු පාසල් සංඛ්‍යාව 30කි. ඉන් පාසල් 7ක් ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝමීටර 50කට අධික දුරින් පිහිටා ඇත.

(ඇ)  වෙනම අධ්‍යාපන කලාපයක් ඇති කිරීම සඳහා ප්‍රමාණවත් පාසල් සංඛ්‍යාවක් හෝ ශිෂ්‍ය ප්‍රජාවක් නොමැති අතර, මේ පිළිබඳව මෙයට පෙර ඉල්ලුම් කිරීමක් නැත.

(ඈ)  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දැනට පවතින කලාප අධ්‍යාපන කාර්යාලවලට අයත් වනුයේ ද ඉතා සීමිත පාසල් සංඛ්‍යාවකි. ඒවා පහත පරිදි වේ.

  • ත්‍රිකුණාමලය උතුර   35
  • කන්තලේ    44
  • කින්නියා    67
  • ත්‍රිකුණාමලය    83
  • මුතූර්      88

  ඉහත සංඛ්‍යාවන්ට සාපේක්ෂව පාසල් සංඛ්‍යාව 150 ද ඉක්මවමින් තනි කලාප අධ්‍යාපන කාර්යාලයක් යටතේ පාලනය සිදු වන අධ්‍යාපන කලාපද දිවයිනේ පිහිටා ඇත. උදාහරණ හැටියට;

  • දෙහිඕවිට    213
  • මිනුවන්ගොඩ    161
  • ගම්පහ      150

  ඉතා විශාල භූගෝලීය ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙන්ම, ප්‍රවේශ වීමේ ප්‍රායෝගික අපහසුතා රැසක් පවතිද්දී මෙවැනි වූ අධ්‍යාපන කලාප රැසක පාසල් සියල්ලෙහිම පරිපාලන කටයුතු සිදු කරමින් පවතින අතර, බහුවාර්ගික තත්ත්වයන් සහිත වෙනත් දිස්ත්‍රික්ක/ ප්‍රදේශ ගණනාවක් තුළද පාසල්වල පරිපාලනය මෙහෙයවනුයේ අනෙකුත් නිර්ණායක හා සාධක මත පදනම්ව පොදුවේ තනි කලාප අධ්‍යාපන කාර්යාලයක් හරහාය.

  එවැනි වාතාවරණයත් මත, නව අධ්‍යාපන කලාප ඇති කිරීමේදී සුවිශේෂීතාවක් ඇති කිරීමේ හැකියාවක් නොමැත.

  ගරු කථානායකතුමනි, අපි ඉදිරියේදී කරන ප්‍රතිසංස්කරණ තුළදී මේ පරිපාලන ව්‍යුහය පිළිබඳ සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතැනදී අධ්‍යාපන සේවාව දරුවන්ට සහ ඒ පාසල්වලට හොඳටම ලැබෙන විධියට තිබිය යුතු ව්‍යුහය ගැන  නිර්ණායක ගණනාවක් ඔස්සේ සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ මතු කරන කාරණා සියල්ලත් අපට සලකා බලන්න පුළුවන්. එම සාකච්ඡාවේදී මේ පිළිබඳව තව යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ගරු මන්ත්‍රීතුමාගෙන් මා ඉල්ලා සිටිනවා.

 

පිළිතුරු දුන් දිනය

2025-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks