පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1539/2025
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කැළණි ගඟ හරහා ඇති, වර්ෂ 120ක් පමණ පැරණි, යටියන්තොට, ගරාගොඩ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීම සඳහා ගිවිසුම්ගතවී ඇති කාලය කොපමණද;
(ii) 2023 සැප්තැම්බර් මාසයේ පමණ සිට වාහන ධාවනය සීමා කරමින් එම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්වී සිටින බව දන්නේද;
(iii) එම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීමට හේතු කවරේද;
(iv) ඉහත පාලම ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව ලබා දීමේදී, නිසි ක්‍රමවේද අනුගමනය කර තිබේද;
(v) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(vi) ගිවිසුම්ගත කොන්ත්‍රාත් සමාගම අදාළ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කර තිබේද;
(vii) නොඑසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(viii) ඉහත පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-25
අසන ලද්දේ
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) · මෙම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති කාලය - දින 699 (මාස 23)
· 2023.08.31 - 2024.11.29 (දින 456) දක්වා මුලදී ගිවිසුම්ගතව තිබුණු නමුත්, පසුව 2025.07.30 දක්වා එම ගිවිසුම දීර්ඝ කරන ලදී.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දීර්ඝ කලාට පසුව තමයි දින 456, දින 699 වෙන්නේ.
(ii) · 2023.08.31 දින මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් එම පාලමේ ඉදිකිරීම් අරම්භ කරන ලද අතර, ඒ හේතුවෙන් එම පාලම හරහා රථවාහන ධාවනය සබරගමුව පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සීමා කර පදිකයන්, පාපාදි, යතුරුපැදි හා ත්‍රිරෝද රථ ධාවනයට පමණක් ඉඩ දී තිබුණි.
· මහ ජනතාවට වන අපහසුතාව අවම කිරීම සඳහා මේ වන විටත් පාපැදි, යතුරුපැදි හා ත්‍රිරෝද රථ ධාවනයට ඉඩ ලබා දී ඇත.
(iii) 2023 හා 2024 වර්ෂවල පැවති අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ ආශ්‍රිතව නිතර ඇති වන ජල ගැලීම් හා ජල මට්ටම වෙනස් වීම් හේතුවෙන් අලුතින් ගඟ මැද ඉදිකළ යුතු කණු - piers - ඉදිකිරීම් සඳහා අදාළ ස්ථානයන්ට ළඟා වීම අපහසු වීම.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේක එක උත්තරයක් තමයි. හැබැයි, මම ඉතා පැහැදිලිව මේ කාරණය කියන්න ඕනෑ. නමුත්, මේ කොන්ත්‍රාත්කරුවනුත්, මාර්ග සංවර්ධන අධිකාරියේ අයත් කැලණි ගඟෙන් ගංවතුර ඇති වන බවත්, සාමාන්‍යයෙන් මේ වාගේ කාලයක - මැයි මාසයේදී, ජූනි මාසයේදී - ගංවතුර වැඩි වන බවත් දන්නවා. ඒක අමුතු phenomenon එකක් නොවෙයි. ඒක දැනගෙන තමයි මේ contract එක award කරන්නෙත්, භාර ගන්නෙත්. ඒ නිසා මේ ගඟේ වතුර වැඩි වුණා කියන එක abnormal, අමුතු දෙයක් නොවෙයි. නමුත්, ඒකත් බලපාන්න ඇති. මේ ප්‍රශ්නවල තිබෙන අර්ධ පිළිතුරුමය බව නිසායි මම ඒක කිව්වේ.
(iv) ඔව්.
(v) අදාළ නොවේ.
(vi) ගිවිසුම්ගත සමාගම අදාළ ගිවිසුමට අනුව කටයුතු කරමින් සිටී. කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා ඉල්ලීම් කර ඇති අතර මේ වන විට එම ඉල්ලීම පරීක්ෂා කරමින් පවතී.
මෙම සමාගම ගැන කියන්න ඕනෑ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. මාර්ග සංවර්ධන අමාත්‍යාංශයත්, ගොඩක් අමාත්‍යාංශත් සුවිශාල අර්බුදවලට මුහුණ දීලා තිබෙනවා, මේ සමාගමේ ඉතාම අඩු කාර්ය සාධනය නිසා. ඒ නිසා ජනතාව පුදුමාකාර පීඩාවට පත් වෙලා තිබෙනවා. ඒ ගැනත් සඳහන් කරන්න ඕනෑ. මේ ගංවතුර තත්ත්වයට වඩා තිබෙන්නේ එම සමාගමේ තිබෙන ප්‍රශ්නයක්.
(vii) අදාළ නොවේ.
(viii) 1. මහජනතාව අපහසුතාවට පත්වීම අවම කිරීම සඳහා තාවකාලික පාලමක් ඉදිකරමින් පවතින අතර පැරණි පාලමේ දිරාගිය යකඩ තට්ටුව ගලවා එය නැවත කොන්ක්‍රීට් යොදා ඉදිකිරීමට සූදානම් කිරීම.
2. ඉදිකිරීම් ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉදිකිරීම්), ක්ෂේත්‍ර ඉංජිනේරු සහ අදාළ නිලධාරින් සමඟ සති දෙකකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වා ඉදිකිරීමට අදාළ ඉලක්ක ලබා දීමට කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks