E   |     |  

 දිනය: 2025-11-21   පිළිතුර ලබා දී ඇත 

1468/2025: විශේෂ ක්‍රීඩා පාසල් සංවර්ධන ව්‍යාපෘතිය: විස්තර

1468/2025

ගරු චානක මාදුගොඩ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)      2025 වර්ෂයට අදාළ අයවැය යටතේ විශේෂිත ක්‍රීඩා පාසැල් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දකුණු පළාත තෝරා නොගැනීමට හේතු කවරේද;

  (ii) එම ව්‍යාපෘතිය සඳහා 2025 වර්ෂයට අදාළ අයවැය මඟින් වෙන් කර ඇති මුදල කොපමණද;

(iii) 2025 අගෝස්තු මාසය වනවිට ඉහත මුදලෙන් වියදම් කර ඇති මුදල කොපමණද;

(iv) විශේෂිත ක්‍රීඩා පාසැල් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා පළාත් පහක් පමණක් තෝරා ගැනීමේ පදනම කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2025-11-21

අසන ලද්දේ

ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2025 අය වැය යෝජනා මඟින් පළාත් 5ක විශේෂිත ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමට යෝජනා කර ඇත. බස්නාහිර, උතුර, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත් ඒ සඳහා තෝරාගෙන ඇති අතර, රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වූ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර ඇත. ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ පළාත්වල ක්‍රීඩා පාසල් නිරීක්ෂණය කිරීමෙන් පසු පළාත් 5ක ක්‍රීඩා පාසල් 6ක් සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 200ක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ‍විසින් වෙන් කර ඇත. එම පාසල් 6 පහත පරිදි වේ.

1. යාපනය මධ්‍ය මහා විද්‍යාලය

2. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය

3. මොනරාගල මහානාම මධ්‍ය මහා විද්‍යාලය

4. අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලය

5. වළල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය

6. හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය

ගරු මන්ත්‍රීතුමනි, මෙතැනදී 2025 වර්ෂයට අදාළව මෙම පාසල් තෝරා ගැනීම සිද්ධ වන්නේ විශේෂිත ව්‍යාපෘති විධියටයි. ඒ නිසා දකුණු පළාත තෝරා නොගත්තා නොවෙයි. මේ සඳහා නිශ්චිතව නම් කරපු පාසල් ප්‍රමාණය තමයි මේ තිබෙන්නේ.

(ii) එම ව්‍යාපෘතිය සඳහා 2025 වර්ෂයට අදාළ අයවැය මඟින් රුපියල් මිලියන 200ක මුදලක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ඇත.

(iii) රුපියල් මිලියන 150ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දන්වා ඇති පරිදි මූල්‍ය ප්‍රගතිය සියයට 44.8ක් වන අතර, භෞතික ප්‍රගතිය සියයට 62.1කි. ඉතිරි රුපියල් මිලියන 50ක මුදල මෙම වසර තුළ උපයෝජනය නොවන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙතින් දන්වා ඇත. ඊට අදාළ ප්‍රගතිය ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත.

ඒ වාගේම ගරු කථානායකතුමනි, "දිට්වා" සුළි කුණාටුවත් සමඟ සමහර පාසල්වල මේ ව්‍යාපෘතිය කර ගැනීමට ප්‍රායෝගික දුෂ්කරතා ඇති වෙලා තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර ඇමුණුම මඟින් නිශ්චිතව ඉදිරිපත් කර තිබෙනවා. මා එම ඇමුණුම සභාගත* කරනවා.

(iv) ඉහත (i)හි පිළිතුර අදාළ වේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks