පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1436/2025
ගරු ඔෂානි උමංගා මහත්මිය,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමාගේ සේවක අර්ථසාධක අරමුදලේ පවතින ශේෂයෙන් 30%කට සමාන මුදලක් ලබා ගැනීමේ අවස්ථාව සලසාදී ඇති බවත්;
(ii) පළමු වරට 30%කට සමාන මුදල ලබා ගෙන වසර 10කට පසු, දෙවන වරටද 30%කට සමාන මුදලක් ලබා ගැනීමට හැකි බවත්;
(iii) දෙවන වරට අදාළ මුදල ලබා ගැනීමට කටයුතු කිරීමේදී අරමුදලේ සාමාජිකයන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එම දුෂ්කරතා අවම කර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-09
අසන ලද්දේ
ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) නැත.
ගරු කථානායකතුමනි, ඒ සම්බන්ධයෙන් මට පැහැදිලි කිරීමක් කරන්න තිබෙනවා. පළමුවරට සියයට 30ක පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීමෙන් පසු සක්‍රිය සේවා කාලය වසර 10ක් සම්පූර්ණ කර ඇති සාමාජිකයන්ට දෙවන වර සියයට 30ක පූර්ව ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්කම තිබෙනවා.
ඒ අනුව, කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාලවලට 2025.07.31 දින සිට 2025.12.05 දක්වා කාලය තුළ සියයට 30ක දෙවන වර ප්‍රතිලාභ සඳහා අයදුම් පත් 744ක් ලැබී තිබෙනවා. ගරු කථානායකතුමනි, 2025.07.31 සිට තමයි දෙවන වර සියයට 30 ලබා දීමට කටයුතු කළේ, 2015.07.31ට කලින් සියයට 30 ගත්තු අයට. ඒ අයදුම්පත්වලින් 702ක් සඳහා ප්‍රතිලාභ ගෙවීම් මේ වන විටත් අවසන් කර තිබෙනවා. ඉතිරි අයදුම්පත් 42ට අදාළව ගෙවීම සඳහා ද ක්‍රියා කරමින් තිබෙනවා.
ඒ කියන්නේ, ලැබී ඇති අයදුම්පත් 744න්, අයදුම්පත් 702කට මේ සියයට 30ක ප්‍රතිලාභය ගෙවා තිබෙනවා. කෙසේ වුවද, සියයට 30ක ප්‍රතිලාභ ලබා ගැනීමේදී හෝ වෙන යම් සේවා ලබා ගැනීමේදී කිසියම් දුෂ්කරතාවලට මුහුණ දෙන අයදුම්කරුවන් සිටී නම්, ඔවුන්ට ඒ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලිපියක් මඟින් හෝ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි පැමිණිලි කළමනාකරණ පද්ධතිය - Complaint Management System - මඟින් මාර්ගගත - online - ක්‍රමයට යොමු කරන්න පුළුවන්කම තිබෙනවා. එ් විතරක් නොවෙයි, අමාත්‍යාංශයේ WhatsApp අංකයක් තිබෙනවා. 070-7227877 කියන WhatsApp අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීම මඟින් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකියි. අපි ඒ පහසුකමත් ලබා දීලා තිබෙනවා. ඒ අනුව අදාළ අයදුම්කරුගේ ගැටලුව සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට හා අමාත්‍යාංශයට විශේෂ අවධානය යොමු කිරීමට හැකියාව තිබෙනවා.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමිය මතු කරන ප්‍රශ්නයට අදාළව මම මේ කාරණයත් කියන්න ඕනෑ. මේ සියයට 30ක පූර්ව ප්‍රතිලාභ ලබා දෙන්නේ පනතේ සඳහන් නිශ්චිත අවශ්‍යතා/කාර්යයන් කිහිපයක් සඳහා පමණයි. ඒකේ යම් ගැටලුවක් තිබෙන බව අපි දකිනවා. එම නිසා ඒ අවශ්‍යතා සනාථ කිරීම සඳහා අයදුම්කරුවන්ට ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට සිදුවෙලා තිබෙනවා. අවශ්‍යතා කිහිපයක් වෙනුවෙන් පමණයි මේ සියයට 30ක ප්‍රතිලාභය ලබා දෙන්නේ. ඒ බව සනාථ කිරීමට විවිධ ලිපි ලේඛන ලබා දීමට සිදුවෙලා තිබෙනවා. මම හිතන විධියට, ගරු මන්ත්‍රීතුමිය මේ ප්‍රශ්නය අහන්නේ අන්න එතැන යම් ගැටලුවක් තිබෙන නිසා වෙන්න පුළුවන්. එම නිසා ඉදිරියේදී මේ පනත සංශෝධනයේදී මෙම අවශ්‍යතා අවම කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනටමත් අපි අවධානය යොමු කර තිබෙනවා.
එම නිසා මේ ප්‍රශ්නයට මම මුලින් "නැත" කියලා උත්තර දුන්නා වුණත්, සියයට 30 ප්‍රතිලාභය දෙවන වර ලබා ගැනීමේ දී ලිපි ලේඛන ඉදිරිපත් කරන්න යනකොට යම් ගැටලුවකට මේ අයදුම්කරුවන් මුහුණ දීලා තිබෙනවා.
(ආ) සේවක අර්ථසාධක අරමුදල් පනත කාලීන අවශ්‍යතාවලට අනුව සංශෝධනය කිරීම සඳහා ජාතික කම්කරු උපදේශක සභාව - NLAC - සමඟ සාකච්ඡා අරඹා ඇති අතර, කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ද අරඹා ඇත. Digital EPF software එක පසුගිය 29වෙනි දා අපි හඳුන්වා දුන්නා. අපි ඒ ආරම්භය සනිටුහන් කළා. ඒ අනුව ඉදිරියේ දී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට වඩාත් පහසු හා කාර්යක්ෂමව සේවාවක් සැලසීමට කම්කරු දෙපාර්තමේන්තුවට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-01-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද ජයසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks