පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1435/2025
ගරු ඔෂානි උමංගා මහත්මිය,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අර්ථසාධක අරමුදලේ ශේෂය සහ දායක මුදල් ගිණුම්ගත වීම ආදී තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන ගැනීමට හැකි ක්‍රමවේදයක් තිබේද;
(ii) නොඑසේ නම්, එවැනි ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) එම ක්‍රමවේදය ආරම්භ කරනු ලබන දිනය කවරේද;
(iv) අරමුදලේ සාමාජිකයන්ට ස්වයංක්‍රීය උත්පාදන පණිවිඩ (Auto Generated Messages) යැවීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේද;
(v) එසේ නම්, එලෙස අවධානය යොමුවී ඇති ක්ෂේත්‍ර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-25
අසන ලද්දේ
ගරු ඔෂානි උමංගා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සේවක අර්ථසාධක අරමුදලෙහි ලියාපදිංචි සාමාජිකයකුට අන්තර්ජාල සේවාව මඟින් හෝ ජංගම දුරකථන කෙටි පණිවුඩ මඟින් සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම්වලට අදාළ තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක වෙනවා.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(iv) සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් පිළිබඳ තොරතුරු සාමාජිකයා වෙත ලබා දීමේදී, ඒ අරමුදලේ මුදල් කළමනාකරණය කරනු ලබන ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් සාමාජිකයින්ට ස්වයංක්‍රීය උත්පාදන පණිවුඩ - auto-generated messages - යැවීම සඳහා අවශ්‍ය දුරකථන අංක හෝ ලිපිනයන් මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සතුව නොපවතින එබැවින්, එවැනි පණිවුඩ යැවීමේ හැකියාවක් දැනට නැහැ. එහෙත්, ප්‍රතිලාභ ලබා ගන්නා අවස්ථාවන්හිදී සහ සංශෝධන කටයුතු සඳහා ලේඛන භාර ගැනීමේදී සාමාජිකයින්ගේ දුරකථන තොරතුරු සේවක අර්ථසාධක අරමුදල විසින් ලබා ගන්නවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ස්වයංක්‍රීය උත්පාදන පණිවුඩ යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි පවතින ක්‍රමවේද අනුගමනය කරමින් තිබෙනවා. ඒ සඳහා පහත ක්‍රම අනුගමනය කරනවා.
i. සියයට 30 EPF පූර්ව ප්‍රතිලාභ අයදුම්පත සහ EPF ප්‍රතිලාභ අයදුම්පතෙහි වර්තමාන තත්ත්වයට - status - අදාළව ස්වයං උත්පාදන SMS පණිවුඩ යොමු කරනු ලබනවා.
ii. සාමාජික නම්/ජාතික හැඳුනුම්පත් අංක/සාමාජික ගිණුම් සංංශෝධන, එයට අදාළ ලේඛන භාර දෙනු ලබන අවස්ථාවේදීම සිදු කිරීමට නොහැකි විටදී පසුව අදාළ සංශෝධනයේ තත්ත්වය - status - පිළිබඳ කෙටි පණිවුඩ - SMS - මඟින් සාමාජිකයා දැනුවත් කිරීම සිදු කරනවා.
(v) සේවක අර්ථසාධක අරමුදලේ දැනට පවතින තොරතුරු පද්ධතිය 2000 වර්ෂයේදී පමණ සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති අතර, එය වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පද්ධතිය නවීකරණය වී නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුව වෙන වෙනම දත්ත පද්ධති දෙකක් පවත්වා ගෙන යනවා දැනට. ඒ හේතුව නිසා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට මෙන්ම, සේවා යෝජකයන්ටද යම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. එම නිසා රජයේ ඩිජිටල්කරණ සැලැස්මටත් අනුකූල වන පරිදි, සමස්ත රාජ්‍ය සේවයේ මේ ඩිජිටල් ප්‍රවේශය කියන වැඩසටහන යටතේ මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් හා කම්කරු දෙපාර්තමේන්තුවට අදාළ අනෙකුත් සේවාවන් ද මාර්ගගතව ලබා ගත හැකි වන පරිදි අදාල මෘදුකාංගවලින් සමන්විත ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වාදීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබෙනවා. එම පද්ධතිය පහත සඳහන් පහසුකම්වලින් සමන්විත වනවා.
i. සේවා යෝජකයන්ට EPF/ETF ගෙවීම එක් යෙදවුමක් මඟින් සිදු කිරීමට හැකි වීම.
ii. දැනට ශ්‍රී ලංකාවේ මහ බැංකුවට හා කම්කරු දෙපර්තමේන්තුවට වෙන වෙනම කළ යුතු යාවත්කාලීන කිරීම් තවදුටත් අවශ්‍ය නොවන පරිදි දත්ත පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණයක් ඇති කිරීම.
iii. සේවකයන්ට තම රැකියාවට අදාළ තොරතුරු තම සාමාජික ගිණුම මඟින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කිරීමට අවස්ථාව සැලසීම සහ EPF/ETF ශේෂ යාවත්කාලීන වීම මාර්ගගතව පරීක්ෂා කිරීමට සහ ස්වයං උත්පාදන පණිවුඩ මඟින් දැනගැනීමට අවකාශය සැලසීම.
iv. පැමිණිලි කළමනාකරණ පද්ධතිය - Complaints Management System - හා සම්බන්ධ කරමින් කම්කරු පරීක්ෂණ යෙදවුමක් සකස් කිරීම හා එමඟින්, දෙපාර්තමේන්තු සේවකයන්ට නිශ්චිත කාලරාමුවක් තුළ අදාළ කාර්යය ඉටු කිරීමට වගකීම පැවරීමට හා එම කාල සීමාව තුළ ඉටු නොකරන කාර්යයන් පිළිබඳව පද්ධතිය මඟින් සිහිකැඳවීම් යොමු කිරීම හා dashboard ක්‍රමවේදයක් මඟින් ඉහළ කළමනාකරණයට මනා අධීක්ෂණයක් පවත්වා ගැනීමට හැකිවීම තුළින් වඩාත් ඵලදායී හා කාර්යක්ෂම සේවක කළමනාකරණ සහ කාර්ය කළමනාකරණ - work management - ක්‍රමවේදයක් හඳුන්වා දීම.
v. සේවාලාභීන්ට තම පැමිණිලි/ ගැටලු සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ස්වයං උත්පාදන පණිවුඩ මඟින් දැනුවත් කිරීම.
vi. පුද්ගලයන් හඳුනා ගැනීම - KYC, Know Your Customer, පුද්ගලයන් ලියාපදිංචි වීම, දත්ත පද්ධතිය හා සම්බන්ධ වීම තුළින් සිදු කිරීම නිසා දෙපාර්තමේන්තුවට ඒ සඳහා සේවාලාභින්ගෙන් තොරතුරු ලබා ගැනීමේ සහ අනන්‍යතාව තහවුරු කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks