01

E   |     |  

 දිනය: 2025-11-18   පිළිතුර ලබා දී ඇත 

1431/2025: ප්‍රමිතියෙන් තොර ආහාර සහ පරිභෝජන භාණ්ඩ: අළෙවිය වැළැක්වීම

1431/2025

ගරු අජිත් ගිහාන් මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       එකම භාණ්ඩය වෙළෙඳපොළ තුළ විවිධ මිල ගණන් යටතේ අළෙවි කරන බවත්;

              (ii)       ප්‍රමිතියෙන් තොර ආහාර හා පරිභෝජන භාණ්ඩ වෙළෙඳසැල්වල විකිණීමට ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) පරිභෝජනයට නුසුදුසු ආහාර සහ භාණ්ඩ වෙ‍ළෙඳපොළට නිකුත් කිරීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-18

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)         (i)      ඔව්.

              (ii)      වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයන් හා වෙළෙඳ ක්‍රියාකාරකම් හමුවේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහතික කිරීම අප අමාත්‍යාංශයේ මූලික ඉලක්කය වේ. අසාධාරණයට ලක්වන පාරිභෝගිකයන්ගේ පමණක් නොව වෙළෙඳුන්ගේද අයිතිවාසිකම් රැක ගැනීම සඳහා අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මැදිහත් වේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත මඟින් භාණ්ඩ හා සමහර විශේෂ සේවා යන අංශ දෙකම පිළිබඳව ක්‍රියා කිරීමේ බලතල අධිකාරිය (පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශය) වෙත පවරා ඇත. වෙළෙඳාම සහ භාණ්ඩ හා සේවාවල මිල විධිමත් කිරීම මඟින් පාරිභෝගිකයන් වඩා හොඳින් ආරක්ෂා කිරීම සහ සාධාරණ වෙළෙඳ පිළිවෙත් හා සීමිත වෙළෙඳ පිළිවෙත්වලට එරෙහිව වෙළෙන්දන් හා නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන හෙයින් ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අමාත්‍යාංශය මඟින් ගෙන කටයුතු කරනු ලබයි.

  • පරිභෝජනය සඳහා වෙළෙඳ පොළ වෙත නිකුත් කරනු ලබන ආහාරවල ආරක්ෂිතභාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආහාර පාලනාධිකාරි  ඒකකය - Food Control Administration Unit - මඟින් නියාමනය  සිදු කරනු ලබයි. එසේ වුවත්, සමහර වෙළෙඳුන් විසින් ගුණාත්මක බවින් හා ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග අළෙවි කිරීම සිදු කරනු ලබන බව වාර්තා වී ඇත.
  • පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ වෙළෙඳ පොළට පැමිණීම වැළැක්වීම සඳහා අප අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රමිති අනිවාර්යය කර එවැනි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අළෙවි කරනු ලබන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කිරීම සහ ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.
  • එමෙන්ම පාරිභෝගිකයන්ට අළෙවි කරනු ලබන භාණ්ඩවල ගුණාත්මක බව සහ තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් - PHI - විසින් සිදු කරනු ලබයි.
  • පාරිභෝගිකයන් විසින් මිලදී ගනු ලබන භාණ්ඩවල ගුණාත්මකභාවය මෙන්ම භාණ්ඩ ලේබල් කිරීම පිළිබඳ නියාමන කටයුතු - Labelling Regulations - පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කරමින් පවතී.
  • පොල් තෙල්වල ප්‍රමිතිය හා ඇසුරුම් පිළිබඳව, ගෑස්වලට අදාළ අමතර කොටස් හා උපාංගවල ප්‍රමිතිය පිළිබඳව, සබන් ඇසුරුම්වලට අදාළ කරුණු පිළිබඳව සහ පුනර්ජනනීය විදුලි බල්බ - CFL/LED - වලට අදාළ කරුණු පිළිබඳව ගැසට් නිවේදන මේ වන විටත් සකස් කරමින් පවතී.
  • රූපලාවණ්‍ය නිෂ්පාදන වන සම පැහැපත් කිරීමේ ආලේපන - skin whitening cream - හා හිසකෙස් ආලේපනවල - hair creamවල - ගුණාත්මකබව, ප්‍රමිතිය හා නීතිමය කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට විශේෂ වූ අධිකාරියක්/ආයතනයක් මේ වන විට ස්ථාපිතව නොමැතිවීම සුවිශේෂ අඩුපාඩුවක්ව පවතී.

එසේ වුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මේ කරුණු පිළිබඳව මැදිහත් වී අවශ්‍ය සම්බන්ධීකරණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සිදු කරමින් පවතී.

  • පොලිතින් උර, ආහාර ඇසුරුම් උර, ළදරු කිරි බෝතල් සහ පානීය ජල බෝතල් ආදියෙහි ගුණාත්මකභාවය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ වන විටත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
  • වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ විවිධ මිල ගණන් යටතේ අළෙවි වීම නිරීක්ෂණය වී ඇති හෙයින් එවැනි තත්ත්ව වළක්වමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්/ උපරිම තොග මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

      උදාහරණ: සහල්, ටින් මාළු, පානීය ජල බෝතල්.

තවදුරටත් පාරිභෝගිකයාට සංවේදී වන භාණ්ඩ සඳහා ප්‍රමිතිය අනිවාර්ය කිරීම මඟින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා අදාළ ආයතන හා එක්ව අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු  කරමින් පවතී.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-11-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු උපාලි සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks