01

E   |     |  

 දිනය: 2025-11-11   පිළිතුර ලබා දී ඇත 

1428/2025: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය: අමතර කොටස් මිලදී ගැනීමේ ක්‍රමවේදය

1428/2025

ගරු තිළිණ සමරකෝන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සඳහා අමතර කොටස් තොග වශයෙන් මිලදී ගනු ලබන ක්‍රමවේදය කවරේද;

              (ii)       එම ක්‍රමවේදයේ දුර්වලතා පවතින බව පිළිගන්නේද;

(iii) එසේ නම්, ඒවා කවරේද;

(iv) දුර්වලතා නොමැති ක්‍රමවේදයක් ඒ සඳහා හඳුන්වාදීමට හැකියාවක් තිබේද;

(v) අමතර කොටස් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන තොග පාලන ක්‍රමවේදය කවරේද;

(vi) එම ක්‍රමවේදය මේ වනවිට කොපමණ කාලයක සිට භාවිතා වන්නේද;

(vii) තොග පාලනය සඳහා පරිගණක පද්ධතියක් සකස් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-11

අසන ලද්දේ

ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xix වන පරිච්ඡේදයේ 156.ආ(1) ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මඟින් නිකුත් කර ඇති භාණ්ඩ, වැඩ හා උපදේශන නොවන සේවා සඳහා වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය - 2024 අනුවය.

              (ii)      නැත.

(iii) පැන නොනඟී.

(iv) පැන නොනඟී.

(v) වාර්ෂික අවශ්‍යතාව අනුව ප්‍රසම්පාදන කටයුතු             සිදු කිරීමෙන් අනතුරුව තෝරා ගන්නා සැපයුම්කරුවන් වෙතින් නිශ්චිත මිලකට හා දින 30ක ණය සහන කාලයකට යටත්ව ශ්‍රී ලංගම ඩිපෝ මඟින් මූල්‍යමය හැකියාව මත සති දෙකක හෝ වැඩි කාලයක අවශ්‍යතාව සඳහා මිලදී ගෙන ගබඩාගත කර, අවශ්‍යතාව අනුව භාවිත කිරීම සහ සංචිතය අනුව යළි යළිත් ඉහත පිරිදි තොග ස්ථාපිත කිරීම සිදු කෙරේ.

(vi) වේරහැර මධ්‍යම ගබඩා සංකීර්ණය 1991 වසරේදී වසා දැමීමෙන් පසු අනුගමනය කෙරේ.

එහෙත්, 2011 සිට 2014 වසර දක්වා කාලය               තුළ තෝරාගත් සැපයුම්කරුවන් දෙදෙනෙකුට කටුබැද්ද හා ඒකල ශ්‍රී ලංගම පරිශ්‍රවල බන්ධිත ගබඩා - bonded warehouses - පවත්වාගෙන යෑමට ඉඩ ලබා දී ඔවුන් වෙතින් දින 30ක ණය සහනයකට යටත්ව ශ්‍රී ලංගම ඩිපෝ සඳහා අමතර කොටස් මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.

2014 වර්ෂයෙන් පසුව ඉහත (v) පිළිතුරෙහි සඳහන් කර ඇති ආකාරයෙන් තොග පවත්වාගෙන යෑමට කටයුතු කෙරේ.

(vii) තොග පාලනය සඳහා පරිගණක පද්ධතියක් ප්‍රධාන කාර්යාලයීය මට්ටමින් සිදු කරනු ලබන අතර, ඉදිරියේදී ඩිපෝ මට්ටමින් පුළුල් කිරීම සඳහා කටයුතු සිදු කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-11-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks