E   |     |  

 දිනය: 2026-08-07   පිළිතුර ලබා දී ඇත 

1364/2026: සමෘද්ධි සංවර්ධන නිලධාරින්: පුරප්පාඩු සහ උසස්වීම්

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      වර්ෂ 30ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ සමෘද්ධි සංවර්ධන නිලධාරින් 18,000ක් පමණ සේවයේ නිරතව සිටින බවත්, මේ දක්වා ඔවුන්ට කිසිදු උසස්වීමක් ලබාදී නොමැති බවත් දන්නේද;

(ii) එම සේවයේ උසස්වීම් ලබාදීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන්නේද;

(iii) එම සේවයේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(iv) එම පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-07

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අ‍පි ආරම්භ කරන්නේ 2014 ජනවාරි 03වැනි දා. එදා සිට මේ වනකල් කිසිදු උසස්වීමක් ලබා දීලා නැහැ, ශ්‍රේණි උසස්වීම් හැර. ඊට පෙර 1995 සිට 2013 අවසානය දක්වා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පැවති කාලයේ උසස්වීම් ලබා දී තිබෙනවා. නමුත්, 2014න් පසු සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් පැවතිලා නැහැ, ගරු කථානායකතුමනි.

(ii) මේ නිලධාරින්ට උසස්වීම් ලබාදීම සඳහා වැඩ පිළිවෙළක් - උසස්වීම් පටිපාටියක් - අපි මේ වෙනකොට සකස් කර තිබෙනවා. ඒ අනුව 2025 වර්ෂයේදී උසස්වීම් පටිපාටියක් සකස් කරලා, ඒ උසස්වීම් පටිපාටිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා, ගරු කථානායකතුමනි. නමුත්, මෙහිදී විශේෂ ගැටලුවක් මතුවී තිබෙනවා. විශේෂයෙන්ම මෙතැන අධිකාරින් සහ දෙපාර්තමේන්තු කිහිපයක් එකතු කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලේ සහ විශ්‍රාම වැටුප් සහිත නිලධාරින් එකම උසස්වීම් පටිපාටියට ඇතුළත් කිරීමේදී ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප්‍රතිපත්තිමය තීරණයක් අපෙන් ඉල්ලා සිටියා. ඒ අනුව කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිත් කරලා ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණත් මේ වෙනකොට අරගෙන තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා, ඉතාම කෙටි කාලයකදී මේ උසස්වීම් පටිපාටිය ක්‍රියාත්මක කරන්නට හැකි වෙයි කියලා.

(iii) දැනට සමෘද්ධි සංවර්ධන නිලධාරි පුරප්පාඩු 4,086ක් තිබෙනවා.

(iv) මේ පුරප්පාඩු පිරවීම සඳහා අපි මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා, ගරු කථානායකතුමනි. ඒ සම්බන්ධයෙන් අපි රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ සමාලෝචන කමිටුව වෙත යොමු කර තිබෙනවා. නමුත්, විශේෂයෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2023දී ඒ වනතෙක් ක්‍රියාත්මක කරමින් තිබුණු සමෘද්ධි සහනාධාර වැඩසටහනෙන් ඉවත් කිරීම නිසා අදට ගැළපෙන විධියට අපට මේ සේවකයන් කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ අනුව අපි විශේෂයෙන්ම විද්වත් කමිටු දෙකක්, බාහිර සහ අභ්‍යන්තර කමිටු දෙකක් පත් කරලා ඒ නිර්දේශ මත අපි මේ වෙනකොට කැබිනට් මණ්ඩලයට සංකල්ප පත්‍රිකාවක් යොමු කරලා තිබෙනවා. ඒ සංකල්ප පත්‍රිකාව අනුව අපි මේ ඉන්න කාර්ය මණ්ඩලය කාර්යක්ෂමව, අදට ගැළපෙන විධියට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහෙයවීම සඳහා යොදා ගනිමින් ඉන්නවා, ගරු කථානායකතුමනි.

(ආ)   අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks