E   |     |  

 දිනය: 2025-12-02   පිළිතුර ලබා දී ඇත 

1363/2025: එක් පාසලක වසර අටකට වැඩි කාලයක් සේවය කරන විදුහල්පතිවරුන්: ස්ථාන‍මාරු

ගරු තුරෛරාසා රවිකරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (2)

(අ)         (i)   යම් පාසලක අවුරුදු අටකට වැඩි කාලයක් සේවය කරමින් සිටින විදුහල්පතිවරුන්ගේ සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

 (ii) විදුහල්පතිවරයෙක් එකම පාසලක අවුරුදු අටකට වැඩි කාලයක් අඛණ්ඩව සේවයේ යෙදීම හේතුවෙන් උද්ගතවී ඇති ගැටලු කවරේද;  

(iii) 2012 වර්ෂයේදී අධි සේවක පදනම මත, විදුහල්පතිවරුන් ලෙස අන්තර්ග්‍රහණය කරනු ලැබ ඇති තැනැත්තන් හට උසස්වීම් ලබාදී ඇතත්, ඔවුන්ගේ සේවයට අදාළ පරිපාලන දීමනා ලබාදී නොමැති බව දන්නේද;

(iv) ඒ සඳහා ඇති බාධා කවරේද;

(v) පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා, අධි සේවක පදනමේ සිටින විදුහල්පතිවරුන්ට අයදුම් කිරීමට පවතින බාධා කවරේද;

(vi) අවුරුදු අටකට වැඩි කාලයක් එකම පාසලක අධි සේවක පදනම මත සේවය කරන විදුහල්පතිවරුන්ට, ස්ථාන මාරු ලබා දීමේ හැකියාව කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2025-12-02

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

අනු අංකය  

පළාත  

වසර 08කට වැඩි කාලයක් පාසලේ ස්ථිර විදුහල්පති තනතුරේ සේවය කරන නිලධාරින් ගණන

ජාතික පාසල්

පළාත් පාසල්

එකතුව

1

බස්නාහිර

02

217

219

2

වයඹ

01

  35

  36

3

දකුණ

නැත

  36

  36

4

නැ‍ඟෙනහිර

නැත

  18

  18

5

උතුර

01

  52

  53

6

උතුරු මැද

නැත

  50

  50

7

ඌව

නැත

  57

  57

8

සබරගමුව

02

  49

  51

9

මධ්‍යම

නැත

117

117

 

එකතුව

06

631

637

 

(ii) පාසල තුළ ඒකාකාරී කළමනාකරණයක් හා පරිපාලන ඒකාධිකාරයක් ගොඩනැඟීම කියන කාරණාවත්, මානව සම්පත උපයෝජනයේදී අතෘප්තිදායක තත්ත්වයන් හටගැනීම නිසා එය පාසල්වල අභ්‍යන්තර පරිපාලනයට අහිතකර ලෙස බලපෑම කියන කාරණාවත්, රාජකාරි කටයුතුවල ඒකාකාරී ලෙස නිරත වීම නිසා රාජකාරි කටයුතු නීරස වීම, අකාර්යක්ෂමතාව, හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට තිබෙන අවස්ථා අඩු වීම සහ පාසල් පරිපාලනය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට ඇති අවස්ථා සීමා වීම වැනි ගැටලු ඇති වීමේ හැකියාවක් තිබෙන බව නිරීක්ෂණය කරන අතර, ඕනෑම වෘත්තියක දීර්ඝ කාලයක් රැඳී සිටින විට විවිධ වංචා, දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා සිදු වීමට ඇති හැකියාවද වැඩියි. මේ වාගේ තත්ත්වයන් තමයි තිබෙන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ එක තැනක රැඳී සිටිනකොට ඇති විය හැකි තත්ත්වය විදුහල්පතිවරුන්ටත් ඒ විධියටම බලපානවා.

(iii) මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවට තුන් වතාවක් පමණ පිළිතුරු සපයා තිබෙනවා.

මෙම ප්‍රශ්නයෙහි පරිපාලන දීමනා ලෙස අර්ථ දක්වා ඇත්තේ, ස්ථිර විදුහල්පතිවරුන් වෙත ලබා දෙන විශේෂ දීමනාව බව උපකල්පනය කළහොත්, 2012.08.08 දින සිට අධි සේවක පදනම මත විදුහල්පති පත්වීම් ලබා දී ඇති නිලධාරින්ගේ පත්වීම් ලිපියේ විධිවිධාන අනුව ඔවුන්ට විදුහල්පති තනතුරට හිමි වැටුප ලබා ගැනීමට පමණක් හිමිකම ඇති අතර, ඔවුන්ට මෙම විදුහල්පති විශේෂ දීමනාව ලබා දීමේ හැකියාවක් නැත.

නමුත්, මෙම නිලධාරින්ගේ ඉල්ලීම් සලකා බලා අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඇත්නම්, අධි සේවක පදනම මත ශ්‍රේණි උසස්වීම් ලබා දීමට 2021.06.23 හා 2022.06.02 දිනැති රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ මඟින් සහනයක් ලබා දී ඇත.

(iv) 2012.08.08 දින අධි සේවක පදනම මත විදුහල්පති තනතුරට පත්වීම් ලැබුවද, මෙම නිලධාරින් ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ නිත්‍ය තනතුරු සඳහා හෝ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ අනුමත කාර්ය මණ්ඩලය සඳහා අන්තර්ග්‍රහණය කර නැත.

ඒක තමයි මෙතැන තිබෙන තාක්ෂණික ගැටලුව, ගරු මන්ත්‍රීතුමනි.

එවකට රජයේ පාසල්වල ස්ථිර විදුහල්පති තනතුරේ රාජකාරි ආවරණය කරන ලද ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරින්ට ඔවුන්ගේ ඉල්ලීම මත යොමු කළ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ඔවුන් කරන ලද සේවය ඇගැයීමක් ලෙස මෙලෙස පත්වීම් ලබා දී ඇත. නමුත් මෙම නිලධාරින් සඳහා ඉහත උපදෙස්වලට පටහැනිව ඇතැම් පළාත් සභා විසින් මෙම විදුහල්පති විශේෂ දීමනාව ගෙවා ඇති බව ඔබතුමාත් දන්නවා. ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ විගණන වාර්තාවක් තිබෙනවා. ඒ අනුව මේ වන විට එම ගෙවීම් නතර කරලා තිබෙනවා. එම තීරණය අරගෙන තිබෙන්නේ මුදල් රෙගුලාසිවලට අනුකූලවයි.

(v) නැවත වාරයක් 2012.08.08 දින අධිසේවක පදනම මත විදුහල්පති තනතුරට පත්වීම් ලද නිලධාරියෙකුට නාමිකව එම තනතුර හිමි වුවද, සේවා ව්‍යවස්ථාවට අනුකූලව බඳවා ගත් නිලධාරියෙකුගේ ජ්‍යෙෂ්ඨත්වයට හා හිමිකම් සඳහා එය බාධාවක් නොවිය යුතුය.

තවද, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින් විසින් ඉල්ලුම් කර ඇති පුරප්පාඩු පවතින පාසල් සඳහා නිලධාරින් පත් නොකිරීමට හා එවැනි පාසල් සඳහා ස්ථාන මාරුවීම් ලබා නොදීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර, තීරණය කර ඇත.

(vi) එවැනි නිලධාරින් සඳහා ස්ථාන මාරුවීම් නොවෙයි, සුහද මාරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වාගේම තමයි ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල තීරණ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුහල්පති සේවයට නවක නිලධාරින් බඳවා ගැනීම සඳහා අංක 3463 හා 2025.11.14 දිනැති ගැසට් නිවේදනය අනුව අයදුම්පත් කැඳවා සීමිත ලිඛිත තරග විභාගය 2026.06.07 දින පවත්වා ඇත. ඒ අනුව විදුහල්පති සේවයේ දැනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා නවක නිලධාරින් බඳවා ගැනීම සිදු කෙරෙනු ඇත.

අපි දන්නවා, උතුරු පළාතේ විතරක් නොවෙයි, අනෙකුත් පළාත්වලත් විදුහල්පති සේවයේ සිටිය යුතු නිලධාරින් පාසල්වල නොමැති බව. ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමේ විසඳුමක් ලබාගන්න අපට පුළුවන් වෙයි.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks