පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1351/2025
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු පළාතේ ජනතාවගේ ජීවනෝපායට මහත් රුකුලක් වන තල්ගස ශ්‍රී ලංකාවේ වැදගත් ශාකයක් ලෙස පිළිගැනීමට පියවර ගෙන තිබේද;
(ii) නොසැලකිලිමත්කම, නාගරීකරණය හා වන විනාශය හේතුවෙන් තල්ගස් විනාශ වීම වැළක්වීමට ගෙන ඇති පියවර කවරේද;
(iii) උතුරු පළාතේ තල් වගා කිරීම ව්‍යාප්ත කිරීමට විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේද;
(iv) සෙසු පළාත්වලද තල් වගා කිරීමට කටයුතු කරන්නේද;
(v) තල් වගාව ව්‍යාප්ත කිරීමට පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාමූල සංවිධාන සම්බන්ධ කර ගන්නේද;
(vi) තල් වගා කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන්නේද;
(vii) තල් සම්බන්ධයෙන් සංවර්ධන කොමිසමක් පිහිටුවන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) තල් ආශ්‍රිත කුඩා කර්මාන්ත, ග්‍රාමීය ආයතන හා කාන්තා සමුපකාර සමිති දිරිගැන්වීමට ගෙන ඇති පියවර කවරේද;
(ii) තල් ආශ්‍රිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළේ අලෙවි කිරීමට ගෙන ඇති පියවර කවරේද;
(iii) එමඟින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-24
අසන ලද්දේ
ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
රජයේ කෘෂි කර්මාන්ත සහ කාර්මික සංවර්ධන උපාය මාර්ගයන්ට අනුකූලව තල් ගස ශ්‍රී ලංකාවේ වැදගත් ආර්ථික වටිනාමක් සහිත භෝගයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත. කුඩා සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්හට සහාය වීමෙන් තල් මත පදනම් වූ කර්මාන්තය ශක්තිමත් කිරීමට කටයුතු කරමින් ඇත. ඒ වාගේම මේ වන විට තල් සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය ධාරිතාව සහ අධිකාරි බලය ලබා දෙමින් තල් ක්ෂේත්‍රයේ තාක්ෂණික දියුණුව, නවෝත්පාදන නිෂ්පාදන ක්‍රම සහ අගය වැඩි කිරීම අරමුණු කරගෙන කටයුතු කරමින් තිබේ. මෙමඟින් තල් ගස ශ්‍රී ලංකාවේ වැදගත් ශාකයක් ලෙස පිළිගැනීමට හැකි වනු ඇත.
(ii) 1951 අංක 9 දරන ගස් හෙලීම (පාලනය කිරීමේ) පනත ප්‍රකාරව නිකුත් කරන ලද ගැසට් පත්‍රය හා ඊට අදාළ සංශෝධන මඟින් තල් ගස් කැපීම තහනම් කර ඇත.
a. එසේ වුවද, විශේෂ හේතු මත තල් ගස් කැපීම සඳහා එම නියෝග ක්‍රියාත්මක කිරීමේදී කෘෂිකර්ම විෂය භාර ලේකම්තුමා හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරින් මඟින් බලපත්‍ර ලබා ගැනීම සිදු කළ යුතුය.
b. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ එක්ව තල් සංවර්ධන මණ්ඩලයේ ක්ෂේත්‍ර පරීක්ෂකවරුන් මඟින් තල් ගස් කැපීම සඳහා ලැබී ඇති අයදුම් පත්‍ර නීතිමය ප්‍රතිපාදනයන්ට අනුකූලව පරීක්ෂා කර අවශ්‍ය නිර්දේශ ලබා දීම සිදු කරයි.
c. නීති විරෝධීව හා අනවශ්‍ය ලෙස තල් ගස් කැපීම වැළැක්වීම සඳහා දැනට පවතින නීතිමය රාමුව ප්‍රමාණවත් නොවන බවට අවධානය යොමු වී ඇති අතර, නව නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම හෝ පවතින නීති ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම තුළින් තිරසර කළමනාකරණය හා යහපත් ආරක්ෂණයක් ලබා දීමට පියවර ගනු ඇත.
(iii) ඔව්.
a. 2025 වර්ෂයේදී උතුරු සහ නැඟෙනහිර පළාත්වල සුදුසු භූමි තෝරාගෙන එහි තල් බීජ 120,000ක් රෝපණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මේ සඳහා රුපියල් මිලියනයක් වෙන් කර ඇත.
b. තවදුරටත් තල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඔක්තෝබර් මාසය "තල් වගා මාසය" ලෙස නම් කර ඇත. ඒ අනුව, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කර ගනිමින් නව වගා වැඩසටහන් විවිධ ප්‍රජාවන්ගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරමින් තිබේ.
c. ඉහළ වැවිලි හැකියාවක් හා නිවැරැදි වගා ක්‍රම තහවුරු කිරීම සඳහා තල් සංවර්ධන මණ්ඩලය විසින් තාක්ෂණික මාර්ගෝපදේශන සහ උසස් ගුණාත්මක බීජ සැපයීම සිදු කරයි.
(iv) ඔව්.
උතුරු පළාතට අමතරව නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්කයන්හිද, වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හා උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේද, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේද තල් ගස් වගා කිරීමේ කටයුතු සිදු කරයි.
(v) ඔව්.
ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කර ගනිමින් නව වගා වැඩසටහන් පහත ප්‍රජාවගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරේ.
(vi) ඔව්.
2025 වර්ෂය සඳහා රුපියල් මිලියනයක මුදලක් වෙන් කර ඇත.
2026 වර්ෂයට මේ සඳහා රුපියල් මිලියන 1.5ක මුදලක් යෝජනා කර ඇත.
(vii) නැත.
දැනට 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත සහ ඊට අදාළ සංශෝධනයන්ට අනුව තල් සංවර්ධන මණ්ඩලය ලෙස ක්‍රියාත්මක වනු ලැබේ.
(ආ) (i) a. ග්‍රාමීය කාන්තා හා තරුණ පිරිස්වල හැකියාවන් ඉහළ නැංවීමට තල් ආශ්‍රිත විවිධ නිෂ්පාදන සිදු කිරීම සඳහා නිපුණතා සංවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම.
b. පුහුණු වැඩසටහන සඳහා සහභාගිවන්නන්හට මූල්‍යමය දිරි දීමනාවන් ලබා දීම හා නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ සැපයීම.
c. තල් පර්යේෂණ ආයතනය මඟින් තල් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පර්යේෂණ සහාය ලබා දීම.
(ii) a. තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සහ සම්බන්ධීකරණය කිරීම තුළින් විශ්වාසදායී ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදන සැපයුම් ජාලයක් තහවුරු කිරීම.
b. අමාත්‍යාංශය සහ තල් සංවර්ධන මණ්ඩලය එක්ව අපනයනකරුවන්හට අපනයන ක්‍රියාවලිය දිරිගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
c. මෙම වසරේ සිට වාර්ෂික අපනයනකරුවන්ගේ සම්මේලනය සංවිධානය කිරීම සඳහා තල් සංවර්ධන මණ්ඩලය මඟින් කටයුතු ආරම්භ කර ඇත.
(iii) ඔව්.
මෙම වැඩ පිළිවෙළ ගෝලීය වෙළඳපොළ තුළ තල් නිෂ්පාදන ප්‍රමුඛ, තිරසර හා සංස්කෘතික නිෂ්පාදනයක් බවට පත්කිරීමේ උපාය මාර්ගයක් වේ. එමෙන්ම තල් කර්මාන්තය ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන තෙක් අඛණ්ඩ සහයෝගයක් ලබා දෙනු ඇත.
තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම තුළින් 2023 වර්ෂය තුළ රුපියල් මිලියන 57.83ක වාර්ෂික අපනයන ආදායමක් ලබාගෙන ඇති අතර, 2024 වර්ෂය -ඒ කියන්නේ පසුගිය වර්ෂය- වන විට රුපියල් මිලියන 228.69ක අපනයන ආදායමක් උපයාගෙන ඇත.
2025 වර්ෂයේ පළමුවැනි මාස හතර, එනම් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය වන විට රුපියල් මිලියන 203.19ක අපනයන ආදායමක් වාර්තා වී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks