E   |     |  

 දිනය: 2026-04-08   පිළිතුර ලබා දී ඇත 

1318/2026: ආයුර්වේද වෛද්‍යවරුන් සහ යුනානි වෛද්‍යවරුන්: රජයේ පත්වීම්

1318/2025

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)       (i)      මේ වනවිට ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් 2500කට අධික සංඛ්‍යාවක් දීර්ඝ කාලයක සිට රජයේ පත්වීම් ලබා ගැනීමට නොහැකිව සිටින බවත්;

(ii) 2023 වර්ෂයේදී ලබා දෙන ලද ආයුර්වේද වෛද්‍ය පත්වීම් 61ක් තුළ යුනානි වෛද්‍යවරුන් සඳහා පත්වීම් ලබා නොදීම හේතුවෙන් යුනානි වෛද්‍යවරුන්ට අසාධාරණයක් සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉහත (අ)(i)හි සඳහන් ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා රජයේ පත්වීම් ලබා දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-04-08

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සීමාවාසික වෛද්‍ය පුහුණුව සම්පූර්ණ කර වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති උපාධිධාරින් 1,443ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටී.

                        2018,            2019 සහ 2020 වසරවල උපාධිය ලබාගත් සිසුන් 303දෙනකු සඳහා අවසන් වරට 2025 වර්ෂයේ නොවැම්බර් මස ආයුර්වේද වෛද්‍ය නිලධාරින් ලෙස පත්වීම් ලබා දීමට කටයුතු කර ඇත.

(ii) 2023 වර්ෂයේදී ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරින් 62ක් සඳහා බඳවා ගැනීම් සිදු කර ඇත්තේ 2022.12.31 දිනට විශ්‍රාම ගන්වන ලද වෛද්‍ය නිලධාරින් සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් වන පරිදිය. එහිදී 2022.12.31 දිනට ආයුර්වේද වෛද්‍ය නිලධාරින් 55ක්, සිද්ධ වෛද්‍ය නිලධාරින් 6ක් හා යුනානි වෛද්‍ය නිලධාරියෙකු විශ්‍රාම ගොස් ඇත. ඒ අනුව 2022.12.31 දිනට ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය නිලධාරි තනතුරුවලට අදාළව විශ්‍රාම ලබා ඇති නිලධාරින් සංඛ්‍යාව 62ක් වන අතර, ඊට සමානුපාතික සංඛ්‍යාවලින් අයදුම්කරුවන් තෝරා ගන්නා බව 2023.03.17 දිනැතිව ප්‍රසිද්ධ කර ඇති ගැසට් පත්‍රයේ ඇති අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් කර ඇත.

2023 වර්ෂයේදී බඳවා ගැනීමේදී සිදු වූ ප්‍රමාද දෝෂයකින් සිද්ධ හා යුනානි වෛද්‍ය කර්මයට අයත් පුරප්පාඩු සිද්ධ වශයෙන් ගණනය වී ඇති බව සඳහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත අංක 02/02/07/06 (පොදු) හා  2023.07.11 දිනැති ලිපිය මඟින් දැනුවත් කර ඇත.

තවද, එම අවස්ථාව වන විට 2023 වර්ෂයේ පත්වීම් භාර නොගන්නා බව නිලධාරින් 5දෙනෙකු විසින් කර ඇති දැනුම් දීමට අනුව එම පුරප්පාඩු සඳහා කුසලතා ලේඛනයේ ඊට පසුව සුදුසුකම් ලබන ආයුර්වේද වෛද්‍ය කර්මයට අයත් අපේක්ෂකයන් 4දෙනෙකු සහ යුනානි වෛද්‍ය කර්මයට අයත් අපේක්ෂකයෙකු නිර්දේශ කර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මඟින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත යොමු කර ඇති නමුත් එම පුරප්පාඩු සඳහා නිලධාරින් බඳවාගෙන නොමැත.

(ආ) 2025.12.31 දිනට ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරි පුරප්පාඩු ගණන 119ක් වන අතර නව බඳවා ගැනීම් කටයුතු සිදු කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීමේ කමිටුව වෙත 2026.03.04 දිනැතිව යොමු කර ඇත.

ඒ අනුව ඉදිරියේදී එම කමිටුවෙන් අදාළ අනුමැතීන් ලද පසුව පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-07-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks