පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1307/2025
ගරු ටී.කේ. ජයසුන්දර මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අමු තේ දළු නිෂ්පාදනය අඩු වීම තේ කර්මාන්තය ආශ්‍රිත ප්‍රධාන ගැටලුවක් බවත්;
(ii) කාලයක් තිස්සේ තේ වගා කිරීම හේතුවෙන් තේ ඉඩම්වල පස නිසරුවීම සහ පසේ ආම්ලිකතාව වැඩි වීම, මේ සඳහා බලපා ඇති බවත්;
(iii) උණ ශාකය භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන ජෛව අඟුරු (Bio Charcoal) භාවිතා කිරීම මඟින් තේ ඉඩම් දීර්ඝ කාලීනව සශ්‍රීක කළ හැකි බව තේ පර්යේෂණ ආයතනය සහ විශ්වවිද්‍යාල විසින් සනාථ කර ඇති බවත්;
(iv) යොදනු ලබන පොහොර ප්‍රමාණයට සාපේක්ෂව අවශෝෂණය කර ගත හැකි පොහොර ප්‍රමාණයේ වේගවත් වර්ධනයක් ජෛව අඟුරු භාවිතා කිරීම මඟින් සිදු වන බැවින් අනවශ්‍ය ලෙස පොහොර යෙදීම පාලනය කළ හැකි බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) එසේ නම්, ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කවරේද;
(ii) ඒ සම්බන්ධයෙන් තේ කර්මාන්තයට අදාළ ආයතන ඒකාබද්ධ කර ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-09
අසන ලද්දේ
ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අමු තේ දලු නිෂ්පාදනය අඩුවීම තේ කර්මාන්තය ආශ්‍රිත ප්‍රධාන ගැටලුවකි. 2013 වසරේදී මෙරට තේ නිෂ්පාදනය උපරිමයට ළඟා වූ අතර, 2015 සිට තේ නිෂ්පාදනයේ අඩුවීමක් සිදුවී ඇත.
(ii) තේ වගා කරන පසේ අඩංගු වන භාෂ්මික පෝෂක කැටායන, තේ ශාක මඟින් අවශෝෂණය කරන අතර දීර්ඝ කාලීනව තේ වගා කිරීමේදී පසේ අඩංගු වන එම භාෂ්මික පෝෂක ප්‍රමාණය දිගින් දිගටම අඩුවීම හේතුවෙන් එය එම පසේ ආම්ලිකතාව වැඩිවීමට සහ පස නිසරුවීමට හේතු වේ.නමුත් තේ වගා පසේ සාරවත් බව අඩු වීම තේ අස්වැන්න අඩුවීමට බලපා ඇති හේතු අතරින් එක් සාධකයක් පමණි. පසේ ඇතිවන ආම්ලිකතාව යාමනය කිරීම සඳහා ඩොලමයිට් යෙදීම තේ වගාකරුවන් විසින් සිදු කරයි.
(iii) ජෛව අඟුරු - biochar - භාවිත කිරීම මඟින් තේ ඉඩම්වල පාංශු ප්‍රතිසාධනය සිදු කළ හැකි බව තේ පර්යේෂණායතනය විසින් සනාථ කර ඇති අතර, ඒ සම්බන්ධ පර්යේෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.
එනම්, ජෛව අඟුරු පසට එකතු කිරීම මඟින් පසේ සවිවර බව, පසේ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය, ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාව, පසේ අඩංගු කාබන් ප්‍රමාණය සහ පෝෂක රඳවා ගැනීම වැඩි කිරීම නිසා එමඟින් තේ ඉඩම්වල පාංශු සාරවත් බව වැඩිදියුණු කළ හැකි බව සොයාගෙන ඇත. එසේම උණ ශාකයෙන් මෙන්ම වෙනත් ශාකවලින් ද ජෛව අඟුරු නිෂ්පාදනය කළ හැකි බව තේ පර්යේෂණ ආයතනය මඟින් සොයාගෙන තිබේ.
(iv) ජෛව අඟුරු පසට යෙදීම තුළින්, තේ වගා කරන පසට එකතු කරන පොහොරවල කාර්යක්ෂමතාව වැඩි කළ හැකි ආකාරය, පසේ සෞඛ්‍ය වැඩිදියුණු කිරීම ප්‍රතිස්ථාපනය කිරීමට සහ තවදුරටත් පසේ ගුණාත්මක ලක්ෂණ වැඩිදියුණු කිරීමට ජෛව අඟුරු යොදාගත හැකි ආකාරය පිළිබඳ පර්යේෂණ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් සිදු කෙරෙමින් පවතින අතර, එම පර්යේෂණ අවසානයේ ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණයෙන් අනතුරුව නිර්දේශ හා වාර්තා ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.
(ආ) (i) රජය මඟින් අදාළ පර්යේෂණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ලබා දී ඇත. එමෙන්ම ජෛව අඟුරු - biochar - නිපදවීම සඳහා යොදාගත හැකි අමුද්‍රව්‍ය පිළිබඳව ද අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතී.
(ii) තේ ක්ෂේත්‍රයේ සියලු ආයතන ඒකාබද්ධ වී උපාය මාර්ගික සැලැස්මක් සකස් කර ඇති අතර, එහි ඒකාබද්ධ පෝෂක කළමනාකරණය සහ ජල කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ. එහිදී ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් පර්යේෂණය කර අවසානයේදී ලබා දෙන නිර්දේශ ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks