01

E   |     |  

 දිනය: 2025-10-09   පිළිතුර ලබා දී ඇත 

1284/2025: පළාත් පාලන ආයතනවලට ‍තේරී පත් වූ රාජ්‍ය සේවකයින්: නෛතික තත්ත්වය

1284/2025

ගරු නීතිඥ සරත් කුමාර මහතා,—  රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ නීතිය අනුව රජයේ සේවකයන්ට පළාත් පාලන මැතිවරණයක අපේක්ෂකයන් ලෙස තරඟ කළ හැකිද;

             (ii)       ඒ සඳහා දේශපාලන හිමිකම් සහිත රජයේ සේවකයන්ට වැටුප් රහිත නිවාඩු ලබා දෙන බවත්, හිමිකම් නොමැති රජයේ සේවකයන් සේවයෙන් ඉල්ලා අස්විය යුතු බවත් දන්නේද;

(iii) පළාත් පාලන ආයතනයක නගරාධිපති/සභාපති තනතුරට රජයේ සේවකයකු පත්වුවහොත්, එම ධුරය දරන කාල සීමාව තුළදී ඔහුට/ඇයට මැතිවරණයට පෙර කරන ලද රජයේ රැකියාවේ නියුක්ත විය හැකිද;

(iv) ඊට අදාළ නෛතික තත්ත්වය කවරේද;

(v) 2018 පළාත් පාලන මැතිවරණයේදී, මඩුල්ල සහ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් සිය සභාපති ධුර දරන ලද කාල සීමාව තුළදී, සභාපති ධුරයට හිමි වැටුපත්, රජයේ රැකියාවේ වැටුපත් යන දෙකම ලබා ගත් බව දන්නේද;

(vi) ඒ සඳහා ඔවුන්ට නෛතික හිමිකමක් තිබේද;

(vii) ඔවුන් වැටුප් දෙකම ලබා ගෙන තිබේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(viii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

අසන ලද දිනය

2025-10-09

අසන ලද්දේ

ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       ඔව්. ආයතන සංග්‍රහයේ XXXIIවැනි පරිච්ඡේදයේ සඳහන් විධිවිධාන අනුව.

             (iii)      ඔව්.

             (iv)      අංක 32/91(III) හා 2008.01.10 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය හා 12/2021 හා 2021/06/25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් සංශෝධිත ආයතන සංග්‍රහයේ XXXIIවැනි පරිච්ඡේදය අනුව.

(v) ඔව්.

(vi) ඔව්.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 32/91(III) හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2021 අනුව නෛතික හිමිකමක් ලැබෙන අතර, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 32/91(III)හි 2.1 ඡේදයේ විධිවිධාන අනුව පළාත් පාලන ආයතනවල නගරාධිපති හෝ සභාපති තනතුරට පත්ව ඇති දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධාරින්ට පළාත් පාලන ආයතනයේ කටයුතුවල නිරත වීම සඳහා මසකට දින 07ක් රාජකාරි නිවාඩු ලබා දී නිත්‍ය තනතුරේ සේවයේ යෙදීමට අවස්ථාව ලබා දීම හෝ එම නිවාඩු ලබා ගැනීමට මනාපය පළ නොකරන නිලධාරියෙකු නගරාධිපති හෝ සභාපති තනතුරකට පත් වුවහොත් හෝ එවන් තනතුරක වැඩ බැලීමට පත් වුවහොත් හෝ එම තනතුර දැරීමට නියමිත සම්පූර්ණ කාලයම වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමෙන් පසු තනතුර දැරීමේ හැකියාව ඇත.

සමෘද්ධි කොමසාරි ජනරාල්ගේ අංක DSD/HO/02/AD/05/පාර්ලි.ප්‍රශ්න හා 2025.10.07 දිනැති ලිපිය අනුව ඔවුන් දෙදෙනාට මසකට දින 07ක් සභාපති ධුරයෙහි රාජකාරි සඳහා රාජකාරි නිවාඩු ලබා දී ඇති අතර, ඉතිරි වැඩ කරන දිනවල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිත්‍ය රාජකාරි කළ යුුතු වේ.

තවද, රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 32/91(III)හි 2.1 ඡේදයෙහි විධිවිධාන අනුව ඔවුන්ට මසකට දින 07ක් රාජකාරී නිවාඩු ලබා දී අනෙකුත් වැඩ කරන දිනවල නිත්‍ය තනතුරේ සේවයේ යෙදීමට අනුමැතිය දී ඇති බැවින් රජයේ සේවයේ වැටුප හා සභාපති තනතුරට හිමි දීමනා ලබා ගැනීමේ බාධාවක් නොමැත.

(vii) අදාළ නොවේ.

(viii) අදාළ නොවේ.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks