01

E   |     |  

 දිනය: 2025-11-06   පිළිතුර ලබා දී ඇත 

1278/2025: ආයෝජන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති LRC ඉඩම්: පුත්තලම දිස්ත්‍රික්කය

1278/2025

ගරු අජිත් ගිහාන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වලින් ආයෝජන ව්‍යාපෘතිවලට ලබාදී ඇති ඉඩම් කවරේද;

             (ii)       එම එක් එක් ඉඩම ලබාදී ඇති ආයෝජන ව්‍යාපෘතිය, ඉඩමේ ප්‍රමාණය සහ පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම ඉඩම් සඳහා ගෙවිය යුතු බදු මුදල් නියමිත පරිදි ගෙවා තිබේද;

(iv) නොඑසේ නම්, බදු මුදල් ගෙවීම පැහැර හැර තිබේද;

(v) ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දුන් ඉහත ඉඩම් සංවර්ධනය කර තිබේද;

(vi) ඒවා අතරින් ඌන සංවර්ධිත ඉඩම් හඳුනාගෙන තිබේද;

(vii) ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දුන් ඉහත ඉඩම් නිසි පරිදි සංවර්ධනය කර නොමැති නම් හෝ බදු ගෙවීම් පැහැර හැර තිබේ නම්, ඒවා නැවත පවරා ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ ඉහත කොමිෂන් සභාවට අයත් මුළු ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ඉඩම්, නිවාස ඉදිකිරීම සඳහා ලබා දෙන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-06

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)         ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් කොමිෂන් සභාවට ප්‍රකාශ කරන ලද මුළු ඉඩම් ප්‍රමාණය, පැවරුණු ඉඩම් ප්‍රමාණය හා බැහැර කරන ලද ඉඩම් ප්‍රමාණය හැරුණු විට අවසන් වශයෙන් කොමිෂන් සභාවට පැවරෙන ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙන් වෙන් වශයෙන් සකස් කර ඇමුණුම 01 මඟින් යොමු කරමි. මෙකී ඉඩම් වරින් වර සංශෝධිත 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධාන ප්‍රකාරව පවරා ගනු ලැබ ඇති අතර, එසේ පවරා ගැනීමේදී මැනුම් කර පවරා ගැනීමක් සිදුව නොමැත.

එම ලේඛනයේ සඳහන් ක්ෂේත්‍රයේ ඉතිරි ඉඩම් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ අනවසරකරුවන්ගේ ග්‍රහණයට නතුව පවතින බවත්, ඒ අනුව දීර්ඝ කාලීනව පදිංචිව සිටින අනවසරකරුවන් වෙත කොමිෂන් සභාවේ අනුමත ක්‍රමවේද හා විධිවිධාන යටතේ මැනුම් කර ඔප්පු ලබා දෙන බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් දන්වා ඇත.

ගරු මන්ත්‍රීතුමාගේ පළමුවැනි ප්‍රශ්නයට අදාළව ගත්තොත්, අපේ රටේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හඳුන්වා දුන් මොහොතේ ඉඳලා මේ දක්වාම කොමිෂන් සභාව පවරා ගත්තු ඉඩම් හෝ  කොමිෂන් සභාව බැහැර කරපු ඉඩම් හෝ සියයට 100ක්ම මැනුම් කටයුතු කරලා නිවැරැදිව හඳුනාගෙන පවරා දීම සඳහා කොමිෂන් සභාව විධියට ගත්තු ක්‍රියාමාර්ග අප හඳුනා ගෙන නැහැ. ඒක බරපතළ ප්‍රශ්නයක් විධියට තිබෙනවා. සමහර අවස්ථාවල කොමිෂන් සභාව දන්නේත් නැහැ, කොමිෂන් සභාවට පවරා ගත් ඉඩම් මොනවාද කියලා. කොමිෂන් සභාව ඒවා හඳුනා‍ගෙනත් නැහැ. එවැනි තත්ත්වයක් තමයි තිබෙන්නේ.

පළමුවැනි ප්‍රශ්නයේ පිළිතුර විධියට ලබා දෙන්න පුළුවන් වන්නේ ඉහත කී ආකාරයට කරුණු හඳුනා ගනිමින් ‍ඇමුණුම 01 යටතේ තොරතුරු ඉදිරිපත් කර ති‍බෙන බවයි.

(ii) ඇමුණුම 02 යටතේ තොරතුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා.

(iii) ඔව්.

(iv) නැත.

(v) ආයෝජන ව්‍යාපෘති 48කින්, ව්‍යාපෘති 43ක් සංවර්ධනය කර තිබෙන බව තමයි තොරතුරුවලින් ඉදිරිපත් වන්නේ.

(vi) ඔව්.

(vii) ඔව්.

 

(ආ) (i) ඇමුණුම් අංක 2හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන් වශයෙන් සඳහන් කර ඇත.

(ii) එම ඉඩම්, නිවාස ඉදිකිරීම සඳහා ලබා දීමක් සිදු නොවේ.

(ඇ) අදාළ නොවේ.

ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2026-01-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks