බලන්න

E   |     |  

 දිනය: 2025-09-26   පිළිතුර ලබා දී ඇත 

1270/2025: පොල් වගාව සහ ආශ්‍රිත කර්මාන්ත: විස්තර

1270/2025

ගරු සුජීව දිසානායක මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වර්ග තුන කවරේද;

             (ii)       ප්‍රධාන අපනයන භෝගයක් ලෙස පොල් භෝගය නම් කරන ලද වර්ෂය කවරේද;

            (iii)       ශ්‍රී ලංකාවේ ඇති පොල් ගස් සංඛ්‍යාව සහ පොල් වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

 (iv) ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න වැඩි කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පොල් ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන කර්මාන්ත කවරේද;

(ii) පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාර්ෂික විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;

(iii) පොල් ලෙලි ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන දේශීය කර්මාන්තශාලා සංඛ්‍යාව හා විදේශීය කර්මාන්තශාලා සංඛ්‍යාව, ඒවායේ ප්‍රධාන අපනයන නිෂ්පාදන සහ උත්පාදනය කර ඇති සෘජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

 (iv) පොල් ලෙලි කර්මාන්තය ආශ්‍රිතව ඇති ප්‍රධාන ගැටලු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-26

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      •     තේ

                        •     පොල්

                        •     රබර්

              (ii)      නිශ්චිත වර්ෂයක් නොදනී.

                        නමුත්, 1950 වර්ෂවල සිට ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල පොල් ක්ෂේත්‍රයේ අපනයන ආදායම් පිළිබඳ වාර්තා කර ඇත. එහි පොල් ද අපනයන භෝගයක් ලෙස නම් කර ඇති බව පොල් පර්යේෂණ ආයතනය විසින් සඳහන් කර තිබේ.

(iii) පොල් වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 484,677යි. මෙය 2024 දී ඇස්තමේන්තුගත අගයක්.

පොල් ගස් සංඛ්‍යාව ගස් මිලියන 65යි. මේකත් 2024 දී ඇස්තමේන්තුගත අගයක්.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2014 සංගණන වාර්තාව පදනම් කර ගනිමින් පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය විසින් සිදු කරන ලද  ගණනය කිරීම් තමයි මම කිව්වේ.

(iv) ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න 2030 වනවිට ගෙඩි මිලියන 4,200ක් ලෙස වර්ධනය කිරීම ප්‍රධාන ඉලක්කය කර ගනිමින් පොල් අස්වැන්න වැඩි කිරීම සඳහා පොල් වගා  කිරීමේ මණ්ඩලය විසින්  කෙටිකාලීන සහ දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගෙන ඇත. ගරු මන්ත්‍රීතුමනි, එම ක්‍රියාමාර්ග ටිකක් විස්තරාත්මකව තිබෙන්නේ. මම ඔබට එයින් ප්‍රධාන කිහිපයක් කියන්නම්.

කෙටිකාලීන ක්‍රියාමාර්ග

• පොල් අක්කර ලක්ෂ 3කට පොහොර යෙදීම සඳහා වගාකරුවන්ට පොහොර සහනාධාරය ලබා දීම අප විසින් සිදු කරනවා. මේ යටතේ APM පොහොර ලබා ගැනීමට අවශ්‍ය වගාකරුවන්ට විවෘත වෙළෙඳ පොළේ රුපියල් 9,000ක් පමණ වන කිලෝ 50 පොහොර බෑගයක් අපි රුපියල් 4,000ක් වැනි සහන මිලකට ලබා දෙනවා. ඊට අමතරව, MOP පොහොර හැටියට කෙනෙක් ලබා ගන්න කැමැති නම් අපි කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 600කට ලබා දෙනවා. එහි පොඩි කොන්දේසි ප්‍රමාණයක් තිබෙනවා. කොහොමටත් MOP කිලෝ 50 පොහොර මිටියක් රුපියල් 600කට ලබා දෙනවා.

• පොල් ගස් වසුන් කර තෙතමන සංරක්ෂණය කිරීම වෙනුවෙන් එක් ගසකට රුපියල් 150ක සහනාධාරයක් ලබා දෙනවා.

• නිර්දේශිත ක්‍රමවේද අනුව පොල් ඉඩම්වලට ජල සම්පාදනය කරනවා නම් එම පද්ධති ඉදිකිරීම වෙනුවෙන් අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් ලබා දෙනවා.

• ඊට අමතරව පළිබෝධ මර්දනයට අදාළ වැඩ පිළිවෙළක් තිබෙනවා.  

• ඒ වාගේම, වන සතුන්ගෙන් වන හානිය   වළක්වන්නත් අපි කටයුතු කරමින් ඉන්නවා.

• ඒ වාගේම, පොල් ත්‍රිකෝණය -විශේෂයෙන්ම කුරුණෑගල, ගම්පහ, පුත්තලම- තුළ තිබෙනවා, ඌන උපයෝජිත පොල් ඉඩම්. ඒවායේ අඩු ඵලදායීතාවක් තිබෙන්නේ. මෙන්න මේ ඉඩම් අපි මේ වසරේ සිට පොකුරු ක්‍රමයට සංවර්ධනය කිරීමේ රජයේ වැඩ පිළිවෙළක් දියත් කරන්න සැලසුම් කර තිබෙනවා.

දීර්ඝකාලීන ක්‍රියාමාර්ගත් මෙම පිළිතුරේ දක්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

(ආ) (i) පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් 900දෙනෙකු පමණ පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වෙලා ඉන්නවා. 2022, 2023, 2024 සහ 2025 වර්ෂයන්ට අදාළව පොල් සංවර්ධන අධිකාරියේ කර්මාන්ත ලියාපදිංචිය ඇමුණුම මඟින් දක්වා ඇත.  ඇමුණුම සභාගත* කරමි.

පොල් මදය ආශ්‍රිත කර්මාන්ත ගත්තොත්, පොල් කිරි, දිසිඳි පොල්, නැවුම් පොල් තෙල්, පිටි කළ පොල් කිරි, සාමාන්‍ය පොල් තෙල්, පොල් ක්‍රීම්, පොල් තලප, තරමක් මේදය ඉවත් කළ පොල්, පොල් පිටි, පුන්නක්කු, කොප්පරා, පොල් වතුර, පොල් බටර්, පොල් අයිස්ක්‍රීම් ආදිය නිෂ්පාදනය වෙනවා. පොල් යුෂ ආශ්‍රිත කර්මාන්ත ප්‍රමාණයකුත් රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පොල් ආශ්‍රිත මද්‍යසාර, පොල් සීනි, පොල් හකුරු, පොල් ඇමිනෝ, පොල් විනාකිරි ආදිය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වාගේම දැන් ටිකක් ප්‍රචලිත වෙන, අපනයන ආදායම වැඩි කර දෙන පොල් ලෙලි ආශ්‍රිත කර්මාන්තත් රටේ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ අනුව බ්‍රිස්ටල් කොහු, ‍මෙට්‍රස් කොහු ආදී දේවල් කොහු ආශ්‍රිත කර්මාන්ත අතර තිබෙනවා. ඒ වාගේම පොල් කටු ආශ්‍රිත කර්මාන්තත් රටේ ප්‍රවර්ධනය වෙමින් තිබෙනවා. ඒ අනුව  පොල් කටු අඟුරු, පොල් කටු පවුඩර්, සක්‍රිය කාබන්, විසිතුරු භාණ්ඩ පොල් කටු ආශ්‍රිතව නිෂ්පාදනය වෙලා රැකී රක්ෂා උත්පාදනය වෙමින් රටට ආදායම් ලබා දෙන බව දැනුම් දෙන්න කැමැතියි.

(ii) පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාර්ෂික අපනයන ආදායම ඩොලර්වලින් මම ඉදිරිපත් කරන්නම්. 2017 අවුරුද්දේ අපනයන ආදායම ඩොලර් මිලියන 598යි;  2018දී 584යි; 2019දී 610යි; 2020දී 661යි; 2021දී 834යි; 2022දී  817යි; 2023දී 700යි. ඒ අනුව ගිය අවුරුද්දේ අපට පුළුවන්කම ලැබුණා පොල් ආශ්‍රිත අපනයන ආදායම ඩොලර් මිලියන 855 දක්වා වර්ධනය කර ගන්න. 2025දී, පසුගිය අවුරුද්දේ, - මම මේ කියන්නේ අවසානය දක්වා නොවෙයි. අවසන් වාර්තාව තවම ලැබිලා නැහැ - ජනවාරි සිට නොවැම්බර් දක්වා ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට අපි පොල්වල අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවා තිබෙනවා. ඒ අනුව අපි නොවැම්බර් දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 1,127ක ආදායමක් ලබලා තිබෙනවා. මම විශ්වාස කරනවා 2025 සම්පූර්ණ වර්ෂයට ගණනය කළාම ඒක ‍ඩොලර් මිලියන 1,200 ඉක්මවයි කියලා.

(iii) මේ සඳහාත් දීර්ඝ පිළිතුරක් තිබෙන්නේ. මම කෙ‍ටියෙන් කියන්නම්. 

2025 වර්ෂයේ පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි පොල් ලෙලි ආශ්‍රිත කර්මාන්ත 450ට අධික සංඛ්‍යාවක් තිබෙනවා. මීට අමතරව අවිධිමත් ගණයේ කොහු කර්මාන්ත හා කොහුබත් තර්මාන්ත තවත් 900ක් පමණ තිබෙනවා. ලියාපදිංචි කර්මාන්ත අතරින් ආයතන 11ක් විදේශ කර්මාන්තශාලා ලෙසයි තිබෙන්නේ.

පොල්ලෙලි කර්මාන්තය ආශ්‍රිතව ඍජු රැකියා 20,000ක් පමණ සහ වක්‍ර රැකියා 40,000ක් පමණ තිබෙනවා.  

(iv) පොල් ලෙලි කර්මාන්තය ආශ්‍රිතව අපි හඳුනා ගත් ගැටලු ලෙස, අමුද්‍රව්‍යවල ලොකු හිඟයක් තිබෙනවා. ඉල්ලුමට අනුව අපට සපයා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ වාගේම පොල් ලෙලි කැපීම කර්මාන්තයක් ලෙස වර්ධනය වීමත් සමඟ පොල් ලෙලිවල මිල ඉහළ යාම නිසා කොහු කර්මාන්තයට අවශ්‍ය ලෙලි නොලැබී යාම හා ඉහළ මිලකට පොල් ලෙලි මිලදී ගැනීමට කොහු කර්මාන්තකරුවන්ට, සාමාන්‍ය සුළු කර්මාන්තකරුවන්ට හැකියාවක් නැතිවීමෙන් කර්මාන්තවලට යම් ගැටලුවක් උදා වෙලා තිබෙනවා. ඒ වාගේම පොල් වතුවල තෙතමන සංරක්ෂණය සඳහා පොල් ලෙලි යොදවන්න වෙලා තිබෙන නිසා පොල් ලෙලි  හිඟයට ඒ පැත්තෙනුත් බලපෑමක් වෙලා තිබෙනවා. ඒ වාගේම, පොල් ලෙලි කැපීම නියාමනය කළ යුතු කර්මාන්තයක් ලෙස පොල් සංවර්ධන අධිකාරිය නිරීක්ෂණය කළද, වෙනත් ආයතන පොල් ලෙලි කැපීම ප්‍රවර්ධනය කරමින් තිබෙන එකත් අපි ගැටලුවක් හැටියට හඳුනා ගෙන තිබෙනවා.

ඒ වාගේම, අගය වැඩි කළ සමහර කොහු ආශ්‍රිත කර්මාන්ත සඳහා කර්මාන්තකරුවන් භාවිත කරන්නේ සරල ක්‍රමවේද නිසා, නවීන තාක්ෂණය, නවීන සංකල්ප මෙම ක්ෂේත්‍රයට භාවිත කිරීම අල්පවීමත් අපි ගැටලුවක් හැටියට දකිනවා.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-01-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks