01

E   |     |  

 දිනය: 2025-09-10   පිළිතුර ලබා දී ඇත 

1255/2025: නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති: ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසය

1255/2025

ගරු ලසිත් භාෂණ ගමගේ මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති අතරින් මේ වනවිට වැඩ අවසන් කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

 

(ii) එම එක් එක් ව්‍යාපෘතියේ නම, ක්‍රියාත්මක කරන ලද ග්‍රාම නිලධාරි වසම, ආරම්භ කරන ලද වර්ෂය, අවසන් කරන ලද වර්ෂය,  වියදම් කරන ලද මුදල සහ වර්තමාන තත්ත්වය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති අතරින් මේ වනවිට වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

(iv) එම එක් එක් ව්‍යාපෘතියේ නම, වියදම් කරන ලද මුදල සහ වර්තමාන තත්ත්වය වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-10

අසන ලද්දේ

ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ප්‍රශ්නය තුළ මෙම ගැටලුවට අදාළ කාලවකවානු පැහැදිලිව සඳහන් නොවුණත් ආසන්න වශයෙන් පසුගිය අවුරුදු 8ක කාලය තුළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳ විස්තරයක් ඇමුණුම 01හි දක්වා තිබෙනවා. ප්‍රධාන ව්‍යාපෘති 6ක් පිළිබඳ විස්තර එහි සඳහන්ව තිබෙනවා. උදාහරණයක් හැටියට ගන්න පුළුවන්,  හෙනරත්ගොඩ උද්භිද උද්‍යාන ඇවිදින මංතීරු ව්‍යාපෘතිය.  ඒ ආදි වශයෙන් එකී ප්‍රධාන ව්‍යාපෘති 6 පිළිබඳ තොරතුරු ඇතුළත් ඇමුණුම 01 පහත දක්වා තිබෙනවා.

 ඇමුණුම 01*

(ii) ඇමුණුම 01හි දක්වා ඇත.

මා ඉදිරිපත් කරපු එම ඇමුණුමෙහි ඒ එක් එක් ව්‍යාපෘතියෙහි නම, ග්‍රාම නිලධාරි වසම, ආරම්භ කළ වසර, අවසාන කළ වසර, වියදම් වූ මුළු මුදල සහ වෙනත් විශේෂ කරුණු සම්බන්ධයෙන් තිබෙන තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත්,  ගම්පහ සියත උයන පාරිසරික හා භූ දර්ශන ව්‍යාපෘතිය. එය අදියර I සහ II වශයෙන් ඉහළගම බටහිර මැදගම (2) ග්‍රාම නිලධාරි වසම තුළයි ක්‍රියාත්මක වන්නේ. 2018දී ආරම්භ කරලා, 2018දී සහ 2019දී පිළිවෙළින් අවසන් කරලා තිබෙනවා, එම ව්‍යාපෘතියේ අදියර I සහ  II. අදියර I සඳහා මිලියන 4.77ක් ද, අදියර  II  සඳහා මිලියන 62.42ක් ද වියදම් කරලා තිබෙනවා. ඒ ආදි වශයෙන් ඒ සියලු ව්‍යාපෘති සම්බන්ධ විස්තර ඇමුණුම 01හි දක්වා තිබෙනවා.

(iii) ව්‍යාපෘති 2ක් තිබෙනවා. ඒ ව්‍යාපෘති 2 පිළිබඳ තොරතුරු මම ඉදිරිපත් කරනවා. එකක් තමයි, ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණය ව්‍යාපෘතිය. එය ආරම්භ කර තිබෙන්නේ 2021 වර්ෂයේ. අවසන් කිරීමට නියමිත වෙලා තිබෙන්නේ 2026 අගෝස්තු මාසයේ. සම්පූර්ණ ඇස්තමේන්තුගත මුදල මිලියන 634ක් වෙනවා. අනෙක් එක, මාකෙවිට නෙළුම්විල ඇවිදින මංතීරු ව්‍යාපෘතිය. එය 2021 වර්ෂයේ ආරම්භ කරලා 2027 වර්ෂයේදී අවසන් වීමටයි නියමිතව තිබෙන්නේ. මිලියන 26.14ක් තමයි ඇස්තමේන්තු වියදම.  

(iv) එයට පිළිතුර  ඇමුණුම 02හි දක්වා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු මම දැනටමත් සඳහන් කර තිබෙනවා.

ඇමුණුම 02*

(v) නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර තිබෙනවා. ගමනාගමනය මුල් කරගත් සංවර්ධනය සඳහා වන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය, වාහන නැවතුම් ස්ථාන, පදික මංතීරු හා පාපැදි මංතීරු ව්‍යාපෘති උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඒ සැලසුම් කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් වන තොරතුරු ඇමුණුම 03 හැටියට පහත දක්වා තිබෙනවා. 

 

ඇමුණුම 03*

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-09-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks