E   |     |  

 දිනය: 2026-06-26   පිළිතුර ලබා දී ඇත 

1217/2026: මාර්ග අංක 155 සහ 140 හි පෞද්ගලික බස් රථ සේවාව: ඇනහිටීම

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මාර්ග අංක 155 (මට්ටක්කුලිය-ගල්කිස්ස) සහ මාර්ග අංක 140 (කොල්ලුපිටිය-වැල්ලම්පිටිය) යන මාර්ගවල පෞද්ගලික බස්රථ ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව දන්නේද;

(ii) මෙම මාර්ගවල ගමන් ගන්නා මගී ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා මේ වනවිට විකල්ප ක්‍රමවේදයක් සකස් කර තිබේද;

(iii) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

(iv) කොළඹ මහා නගර සීමාව තුළ පොදු ප්‍රවාහන සේවය ඉහළ නැංවීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-06-26

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු කාලසීමාවේදී මෙම සේවාව ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වූ අතර, බස් සේවාව යථාවත් කිරීමට වරින් වර උත්සාහ ගෙන ඇත.

                        ඒ අනුව කාලසටහන් අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය බස්රථ යෙදවීම සඳහා මගී සේවා අවසරපත්‍ර නිකුත් කිරීමට පහත අවස්ථාවන්වලදී ටෙන්ඩර් කැඳවා තිබුණ ද මගී සේවා අවසරපත්‍ර ලබා ගැනීම සඳහා බස් රථ ධාවකයින් ඉදිරිපත් වීම ඉතා අවම තත්ත්වයක පැවතුණි.

                        2014 වර්ෂය වන විට බස් රථ 24ක් ධාවනය වූ මාර්ගයකි. 2020 වර්ෂය වනවිට බස් රථ සංඛ්‍යාව 08 දක්වා අඩු වී තිබුණි. පසු කාලයේදී වැල්ලම්පිටිය බස් නැවතුම් ස්ථානය වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමත්, ත්‍රිරෝද රථ රියදුරන්, වෙළඳසැල් හිමියන් හා නගරවාසීන් බස්රථ සේවකයන්ට හා අධිකාරියේ වේලා සටහන් නිලධාරින්ට සිදු කළ අයුතු බලපෑම් නිසා බස්රථ පරිපාලනය ගිලිහී සේවක විනය පිරිහීමත් සේවාවේ අනාර්ථිකභාවයන් හේතුවෙන් බස්රථ ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නැවතී ඇත.

යළි බස්රථ යෙදවීමට මගී සේවා අවසරපත්‍ර නිකුත් කිරීම සඳහා පහත සඳහන් අවස්ථාවලදි ටෙන්ඩර් කැඳවා තිබුණ ද මගී සේවා අවසරපත්‍ර ලබා ගැනීම සඳහා ධාවකයින් ඉදිරිපත්ව ඇත. (පසුබිම් වාර්තා - 01*)

(ii) විකල්ප ක්‍රමයක් සකස් කර ඇත.

(iii) මාර්ග අංක 155 සොයිසාපුර - මට්ටක්කුලිය පොදු මගී ප්‍රවාහන සේවය සපයා ගත් මගීන් මාර්ග අංක 145 මට්ටක්කුලිය - සීමා මාලකය හා මාර්ග අංක 178 මට්ටක්කුලිය - නාරාහේන්පිට සේවාවන් මඟින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරාගනු ලබයි.

මාර්ග අංක 140 කොල්ලුපිටිය-වැල්ලම්පිටිය පොදු මගී ප්‍රවාහන සේවය සපයාගත් මගීන් මාර්ග අංක 175 කොහිලවත්ත - කොල්ලුපිටිය සේවාව, මාර්ග අංක 164 ‍සල්මල් උයන - පුරහල සහ මාර්ග අංක 166 අංගොඩ - කොම්පඤ්ඤවීදිය මඟින් තම ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරා ගනු ලබයි. 

(iv) 1. බස් ප්‍රවාහන සේවා සහ යටිතල පහසුකම් සංවර්ධනය

  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB): පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම.
  • ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පිටකොටුව ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීම (Construction of Pettah Advance Transport Terminal) - බැස්ටියන් මාවත බස් පර්යන්තය නවීකරණය.
  • මෙට්‍රෝ විද්‍යුත් බස් (EV Buses) සංවර්ධන ව්‍යාපෘති (2027)
  • 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය යටතේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා පහසුකම් සහිත, වායුසමනය කරන ලද, පත්ල පහත් (Low floor) නව බස් රථ 10ක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථනය කේන්ද්‍ර කරගනිමින් ධාවනයට යෙදවීම.

2. දුම්රිය ප්‍රවාහන සේවා නවීකරණය සහ ව්‍යාප්තිය (SLR & CSRP)

  • ස්වයංක්‍රීය බලවේග කට්ටල (Self-Powered Coaches) සහිත කෙටි දිගින් යුත් (වායුසමනය කළ) දෙපසටම ධාවනය කළ හැකි දුම්රිය කට්ටල 20ක් මිලදී ගැනීමට යෝජිතය.
  • කොළඹ නාගරික තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (CSRP)
  • කැලණිවැලි (KV) දුම්රිය මාර්ගය: මරදාන සිට අවිස්සාවේල්ල දක්වා (කිලෝමී‍ටර 65) දුම්රිය මාර්ගය ඉදිකිරීම.
  • මරදාන සිට රඹුක්කන දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීම.
  • මරදාන සිට කළුතර දකුණ දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය (කිලෝමීටර 50) ඉදිකිරීම.
  • කොළඹ කොටුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-06-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks