logo

02

E   |     |  

 දිනය: 2025-10-22   පිළිතුර ලබා දී ඇත 

1174/2025: ශ්‍රී ලංකා පොලීසිය: පුරප්පාඩු

1174/2025

ගරු සුනිල් රත්නසිරි මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ශ්‍රී ලංකාවේ ඇති පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;‍

             (ii)       ශ්‍රී ලංකා පොලීසියේ මේ වනවිට සේවය කරනු ලබන මුළු නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

            (iii)       ශ්‍රී ලංකා පොලීසියේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් නිලය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන්නේද;

(v) එසේ නම්, එම පුරප්පාඩු පුරවනු ලබන දිනය එක් එක් නිලය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

‍ යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2024 වර්ෂයේ සිට 2025 මැයි මාසය දක්වා අත්අඩංගුවට ගන්නා ලද සංවිධානාත්මක අපරාධකරුවන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) මේ වනවිට ශ්‍රී ලංකා පොලීසියේ සිදුවන අක්‍රමිකතා හඳුනාගෙන තිබේද;

(iii) එසේ නම්, එම අක්‍රමිකතා මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

‍යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-22

අසන ලද්දේ

ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පොලිස් ස්ථාන - 608

              (ii) 

2026.02.15 දිනට සේවය කරනු ලබන නිලධරයන් සංඛ්‍යාව

සාමාන්‍ය සේවය

විශේෂ කාර්ය බලකාය

සහයක සේවය

සහයක සේවය සඳහා උපසේවා පදනමින් බඳවා ගත්

මුළු නිලධරයන් සංඛ්‍යාව

71,424

7,256

1,032

70

79,782

(iii)          ඇමුණුම 01 මඟින් දක්වා ඇත.

             (iv)      ඔව්.

              (v)      රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ කාර්ය පටිපාටික රීති, ප්‍රතිපාදන හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ සහ අනුමත බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටි මත නිශ්චිත කාල සීමා තුළදී උසස්වීම් ලබාදීමට කටයුතු කරනු ලබයි.

ඒ අනුව ඉහත ප්‍රශ්න අංක (iii)හි සඳහන් පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා පහත ක්‍රමවේද අනුගමනය කර ඇත.

උසස්වීම් මඟින් පුරප්පාඩු පිරවීම

· ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත තනතුරුවලට (සහකාර පොලිස් අධිකාරි සිට ඉහළ තනතුරු) අදාළ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටියට අනුව සුදුසුකම් සම්පූර්ණ කරන නිලධරයන් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසුකම් ලබන දින හෝ තනතුරේ පුරප්පාඩු ඇති වූ දින යන දෙකෙන් දෙවනුව එළඹෙන දින සිට උසස්වීම් ලබා දී එම තනතුරුවල පුරප්පාඩු සම්පූර්ණ කරනු ලබයි.

· නියාමන සේවා ගණයේ තනතුරු සඳහා (ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ ඉන් පහළ තනතුරුවල) ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2020.01.06 දිනැති NPC/ED/NG/PR/07/Time Pro/2019 - (ii)  දරන ලිපිය මඟින් ලබා දී ඇති අනුමැතිය පරිදි සෑම වර්ෂයකම දෙසැම්බර් 31 දිනට පවතින පුරප්පාඩු සඳහා ඊළඟ වර්ෂයේ ජූනි 31 දිනට පෙර අයඳුම්පත් කැඳවා උසස්වීම් ලබාදීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව සෑම වර්ෂයකම දෙසැම්බර් 31 දිනට ඇති වන පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටීන් අනුව ඒ ඒ නිලයට ඊළඟ වර්ෂයේ ජනවාරි 01 වන දිනට උසස්වීම් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

 

නව බඳවා ගැනීම් මඟින් පුරප්පාඩු පිරවීම

 

  නිලය

2025 වර්ෂයේ බඳවා ගත් සංඛ්‍යාව

2026 වර්ෂයේදී බඳවා ගැනීමට නියමිත අනුමැතිය ලත් සංඛ්‍යාව

 

ශ්‍රී ලංකා පොලිසිය

විශේෂ කාර්ය බළකාය

එකතුව

ශ්‍රී ලංකා පොලිසිය

විශේෂ කාර්ය බළකාය

එකතුව

උප පොලිස් පරීක්ෂක

-

-

-

300

25

325

කාන්තා උප පොලිස් පරීක්ෂක

-

-

-

50

-

50

පොලිස් කොස්තාපල්

470

225

695

6,530

775

7,305

කාන්තා පොලිස් කොස්තාපල්

-

-

-

1,000

50

1,050

පොලිස් කොස්තාපල් රියැදුරු

130

-

130

345

100

445

එකතුව

 

 

825

8,225

950

9,175

මුළු එකතුව   10,000

 

සටහන

මේ වන විට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර ඇති සංඛ්‍යාව

 

01. උ.පො.ප             200

02. පො.කො          1,175

03. වෛද්‍යවරුන්             25

එකතුව                 1,400

(ආ) (i)

*  වෙනත් - මෙම අපරාධ සඳහා සහ අපරාධකරුවන්හට විවිධ ආකාරයෙන් සහය දීම හා ආධාර අනුබල දීම් කරන ලද පුද්ගලයින්

(ii) ඔව්.

(iii) පොලිස් නිලධාරින් අක්‍රමිකතාවන්ට පෙළඹීමට හැකියාව පවතින අවස්ථා සහ තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනයක් කර ඒවා මොනවාද යන්න හඳුනා ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව මෙවැනි ක්‍රියාවන් සඳහා නිලධරයන් පෙළඹීම වැළැක්වීම මෙන්ම, මෙවැනි ක්‍රියාවල නිරත වන නිලධරයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා පහත පරිදි ක්‍රමවේද සකස් කර ඇත.

අක්‍රමිකතා වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග

· නිලධාරින්ගේ වැටුප් හා දීමනා ප්‍රශස්ත මට්ටමකින් වැඩි කිරීමට කටයුතු කිරීම හා සුබසාධන පහසුකම් ඉහළ නැංවීම.

· වගකීමෙන් හා අවංකභාවයෙන් යුතුව අපරාධ හා දූෂණ මර්දන කටයුතුවලට දායක වන හා විමර්ශන සිදු කරන නිලධරයන් හඳුනාගෙන ඔවුන්හට උසස්වීම්, වැටුප් වර්ධක, මුදල් ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා ලබා දීමට දීප ව්‍යාප්ත වැඩ පිළිවෙළක් සකස් කිරීම.

· දූෂණ අක්‍රමිකතාවල නිරතවීමේ ආදීනව හා හානිකර ප්‍රතිඵල පිළිබඳව නිරතුරුවම නිලධරයන් දැනුවත් කිරීම සඳහා පොලිස් ස්ථාන මට්ටමින්, පොලිස් කොට්ඨාස මට්ටමින් හා පළාත් මට්ටමින් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කිරීම.

· පොලිස් නිලධරයන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම තුළින් අක්‍රමිකතාවන්ට පෙළඹීමට ඇති අවස්ථා අවම කිරීම සඳහා වෘත්තිමයභාවයෙන් යුතු පොලිස් නිලධරයන් බිහි කිරීම සඳහා පොලිස් විද්‍යාල, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය හා සේවාස්ථ පුහුණු ඒකක මඟින් වැඩසටහන් හා පුහුණු පාඨමාලා පැවැත්වීමට කටයුතු කිරීම.

· පොලිස් නිලධාරින්හට පවතින ගැටලු ඍජුවම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා සෑම සතියකම බ්‍රහස්පතින්දා දින පොලිස්පති පොලිස් නිලධාරි සහන දිනය පොලිස් මූලස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අක්‍රමිකතාවලට පෙලඹෙන නිලධරයන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් ප්‍රවේශ සලසා දී ඇත.

·  පොලිස් නිලධාරින්ට විරුද්ධව පොලිස්පති වෙත ඍජුව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා වට්ස්ඇප් අංකයක් හඳුන්වා දීම.

· පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධරයන් වෙත ඍජුවම පැමිණිලි ඉදිරිපත් කිරීම සහ ඔවුන්ගේ ජංගම දුරකථන අංක ප්‍රසිද්ධියට පත් කිරීම.

· මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති ජාතික සේවා මැදිරිය වෙත 118 දුරකථන අංකය මඟින් ඍජුවම අමාත්‍යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම.

· ශ්‍රී ලංකා පොලීසියේ www.police.lk වෙබ් අඩවියෙහි ඊ-සේවාව වෙත පිවිස මහජනයාහට පොලිස්පතිවරයා වෙත ඍජුවම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම.

· "Tell IGP" - telligp@police.gov.lk - විද්‍යුත් තැපෑල මඟින් මහජනයා හට පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම.

· පොලිස් විශේෂ කාර්යාංශයෙහි ස්ථාපිත කර ඇති 1997 දුරකථන අංකය මඟින් මහජනතාවට රහසිගතව ඕනෑම තොරතුරක් පොලිස්පතිවරයා වෙත ඍජුවම ලබා දීමට පහසුකම් සලසා ඇත.

· දූෂණ විරෝධී ජාතික ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ආයතනයන්හි දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපිත කර ඇත. ඒ අනුව මහජනතාවට පොලිස් නිලධාරින්ගේ අක්‍රමිකතා සමබන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පළාත් 9ම ආවරණය වන පරිදි අභ්‍යන්තර කටයුතු ඒකක 11ක් ස්ථාපිත කර ඇත. එම ඒකක වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේදී දුරකථන, විද්‍යුත් තැපෑල, වට්ස්ඇප්, පැමිණිලි පෙට්ටි වෙත හා පෞද්ගලිකව පැමිණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත. එමඟින් ලැබෙන පැමිණිලි අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

· මහජනයාහට පොලිස් නිලධාරින්ට එරෙහිව ඔවුන්ට පවතින පැමිණිලි ඍජුවම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමට "පොලිස්පති මහජන සහන දිනය" සතියේ සෑම සිකුරාදා දිනම පොලිස් මූලස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

අක්‍රමිකතාවල නිරත නිලධරයන් හඳුනා ගැනීම හා ඔවුන්ට එරෙහි විමර්ශන කඩිනම් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග.

· පොලිස් විශේෂ කාර්යාංශය සහ ඊට අනුබද්ධිතව ප්‍රාදේශීයව ස්ථාපිත කර ඇති බුද්ධි ඒකක මඟින් සේවයේ යෙදී සිටින සියලුම පොලිස් නිලධරයන් සම්බන්ධයෙන් නිරතුරුවම බුද්ධි වාර්තා කැඳවීමට කටයුතු කරන අතර, එම බුද්ධි වාර්තා අනුව අක්‍රමිකතා කරන නිලධාරින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීම.

· ශ්‍රී ලංකා පොලීසියෙහි පොලිස් නිලධරයන්ට විරුද්ධව ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ පළාත් විශේෂ විමර්ශන ඒකක 9ක් ස්ථාපිත කර ඇති අතර, එමඟින් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම.

· ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතට ගැනෙන අපරාධමය ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පළාත් හා ප්‍රාදේශීය මට්ටමෙන් ස්ථාපිත කර ඇති අපරාධ විමර්ශන ඒකක මඟින් විමර්ශන කිරීම සදහා කටයුතු කිරීම.

· පොලිස් නිලධරයන් විසින් කරනු ලබන විනය කඩ කිරීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා පොලිස් විනය හා කල්ක්‍රියා කොට්ඨාසය ස්ථාපිත කර ඇති අතර, එමඟින් කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම.

· දූෂණ අක්‍රමිකතාවන්හි යෙදෙන නිලධාරින් සම්බන්ධයෙන් පොලිස් නියෝග, ආයතන සංග්‍රහය, පොලිස්පති චක්‍රලේඛ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ, කාර්ය පටිපාටික රීති ප්‍රතිපාදන අනුව කටයුතු කර එම නිලධාරින් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන විනයානුකූලව කටයුතු කිරීම, වැඩ තහනම් කිරීම හා සේවයෙන් පහකිරීමට කටයුතු කිරීම.

· කිසියම් නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ පවතින අපරාධ නීතිය යටතේ ගැනෙන අපරාධමය වරදක් කර ඇති සෑම අවස්ථාවකදීම ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම.

· ඉහත පරිදි කටයුතු කර 2024.01.01 දින සිට 2025.09.30 දින දක්වා පොලිස් නිලධාරින් 624දෙනෙකු වැඩ තහනමට ලක් කර ඇති අතර, පොලිස් නිලධාරින් 79දෙනෙකු සේවයෙන් පහකිරීමට කටයුතු කර ඇත.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2026-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks