01

E   |     |  

 දිනය: 2025-10-07   පිළිතුර ලබා දී ඇත 

1161/2025: මුලතිව් සහ මන්නාරම මහ රෝහල්: කාර්ය මණ්ඩල සහ භෞතික සම්පත්

1161/2025

ගරු තුරෛරාසා රවිකරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)     (i)       මුලතිව් සහ මන්නාරම මහ රෝහල්වල වෛද්‍යවරුන් සඳහාවූ සීමාවාසික පුහුණුව ලබා නොදෙන බව දන්නේද;

              (ii)      බොහෝ මූලික රෝහල්වල වෛද්‍ය සභාවේ අනුමත විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකුට වඩා සේවය කරනු ලැබුවද, මුලතිව් සහ මන්නාරම මහ රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු නොපිරවීමට හේතු කවරේද;

  (iii)  ප්‍රමාණවත් සම්පත් නොමැති වීම හේතුවෙන් මූලික වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා රෝගීන් වෙනත් දිස්ත්‍රික් රෝහල් වෙත යැවීමෙන් රජයේ සෞඛ්‍ය සේවාවේ අසමත්භාවය සහ අසමානතාවය සනාථ වන බව පිළිගන්නේද;

  (iv)  ඉහත රෝහල් ඇතුළුව ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම දිස්ත්‍රික් රෝහල්වලට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සහ භෞතික සම්පත් පැවතීම සහතික කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-07

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        සීමාවාසික වෛද්‍ය නිලධාරින් පුහුණුව සඳහා යොදවන්නේ වෛද්‍ය සභාව විසින් අනුමත කරන ලද රෝහල්වලට පමණයි. මන්නාරම සහ මුලතිව් රෝහල් දැනට වෛද්‍ය සභාව අනුමත කරලා නැහැ.

                        ඒකට හේතු වෙලා තිබෙන්නේ වෛද්‍ය සභාවේ තිබෙන නිර්ණායක අනුව, අපි කියන major specialtiesවලට, ඒ කියන්නේ medicine, surgery, gynaecology and obstetrics සහ paediatrics කියන හතරට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍යවරු - Board-certified Consultantsලා - හිටියොත් තමයි අපට internsලා යවන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිත් කැමැතියි, internsලා යවන්න පුළුවන් නම්. එතකොට ඒ වෛද්‍ය හිඟයට යම් උත්තරයක් හම්බ වෙනවා. නමුත්,  මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සිටින්නේ Board-certified Consultantsලා දෙන්නයි. විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබා දෙන, විශේෂඥ වෛද්‍ය සේවය ලබා දෙන වෛද්‍යවරු 14දෙනෙක් හිටියාට ඒකේ Board-certified Consultantsලා දෙදෙනායි ඉන්නේ. මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සේවාව ලබා දෙන වෛද්‍යවරු 20ක් හිටියාට Board-certified Consultantsලා ඉන්නේ දෙදෙනායි. ඒ නිසා තමයි දැනට අපට internsලා යවන්න විධියක් නැත්තේ.

(ii) වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලත්, මාණ්ඩලික සහතික ලත් ප්‍රමාණවත් විශේෂඥ වෛද්‍ය නිලධාරින් හිඟ බැවින් මන්නාරම සහ මුලතිව් රෝහල් සඳහා විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍යවරුන් මඟින් පුරප්පාඩු පිරවීමට නොහැකි වී ඇත. නමුත්, වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ සුදුසුකම් ලබමින් සිටින, දැනටමත් විදේශීය පුහුණුව ලැබූ සහ ලැබීමට නියමිත සුදුසුකම් ලත් වෛද්‍යවරුන් මඟින් මෙම රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාව ලබා දීමට අනුයුක්ත කර ඇත.

ගරු මන්ත්‍රීතුමනි, මම කලින් උත්තරයේ කියපු හැටියට  විදේශීය පුහුණුවට ගිහින් පැමිණි,  නමුත් තවමත් Board certification ගත්තේ නැති විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ අනෙක් පැත්තෙන් විදේශීය විශේෂඥ වෛද්‍ය පුහුණුවට යන්න ඉන්න අයගෙන් තමයි අපේ විශේෂඥ වෛද්‍ය සේවාව ලබා දෙමින් ඉන්නේ; ඒ විධියට තමයි ඒ සේවාව ආවරණය කර ගනිමින් ඉන්නේ. ලංකාවට ඒ අය එන ප්‍රමාණය අනුව සහ Board-certified ප්‍රමාණය අනුව ඒ සේවාව අපි ලබා දෙනවා.

(iii) මේ වන විට මන්නාරම සහ මුලතිව් රෝහල් සඳහා අවශ්‍ය වන මූලික පරීක්ෂණ හා මූලික පහසුකම් ලබා දී ඇත. කෙසේ නමුත්, තවදුරටත් රෝගීන් සඳහා අවශ්‍ය වන විශේෂ පරීක්ෂණ - උදා: MRI, mammogram, cystography ආදිය - සඳහා සහ සුවිශේෂී රසායනාගාර පරීක්ෂණ සඳහා පමණක් ඒ ඒ අවස්ථාවට උචිත පරිදි යාපනය ශික්ෂණ රෝහල, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල, අනුරාධපුරය ශික්ෂණ රෝහල මෙන්ම ඇතැම් විට මහනුවර හා කොළඹ ජාතික රෝහල් වෙතත් රෝගීන් යොමු කිරීම සිදු කරනු ලැබේ. මොකද, අපට හැම පරීක්ෂණයක්ම හැම දිස්ත්‍රික් මහ රෝහලකටම දෙන්න හැකියාවක් නැහැ. එම නිසා සුවිශේෂී පරීක්ෂණවලට යොමු කිරීමක් සිදු කරනවා.

(iv) දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.

රජයේ අරමුදල් මඟින් වාගේම ප්‍රදානයන් මඟින් මාන්කුලම්, කිලිනොච්චි, පේදුරුතුඩුව සහ යාපනය රෝහල් වැඩිදියුණු කිරීමට කටයුතු යොදා තිබේ. අවශ්‍ය මානව සම්පත් ලබා දීම සඳහා අවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල පුහුණුව සඳහා බඳවාගෙන එම පුහුණුවීම් කරගෙන යන අතර, ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකය - Biomedical Engineering Unit - සහ වෛද්‍ය සැපයීම් අංශය මඟින් අවශ්‍ය පරිදි වෛද්‍ය සැපයීම් ලබා දී ඇත.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks