01

E   |     |  

 දිනය: 2025-09-25   පිළිතුර ලබා දී ඇත 

1123/2025: ශ්‍රී ලංකා ගුවන් හමුදාව හැර ගිය සෙබළුන්: ගත් පියවර

1123/2025

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)      සේවය අතහැර ගොස් සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙබළුන්/නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒ අතරින් ශ්‍රී ලංකා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව සහ  භාරවී ඇති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

(iv) ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉවත් කිරීමට ගත වන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට C-130 ගුවන් යානයක් මිලදී ගැනීමට කටයුතු කරන බව දන්නේද;

(ii) මේ වනවිට ගුවන් හමුදාව සතු C-130 ගුවන් යානා සංඛ්‍යාව කොපමණද;

(iii) එම ගුවන් යානාවල නඩත්තු කටයුතු අවසන්වරට සිදු කරන ලද කාල වකවානු කවරේද;

(iv) නව C-130 ගුවන්යානයක් මිලදී ගැනීමේ අරමුණ කවරේද;

(v) එම නව C-130 යානය පරිත්‍යාගයක්ද; නොඑසේ නම්, මිලදී ගැනීමක්ද;

(vi) එමඟින් ඉටු කර ගැනීමට අපේක්ෂිත කාර්යයන් මේ දක්වා ඉටු කර ගත් ආකාරය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-25

අසන ලද්දේ

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නිලධාරින් (නිත්‍ය / ස්වේච්ඡා)     -    45

                        සෙසු නිලධාරින් (නිත්‍ය / ස්වේච්ඡා)   - 3,402

              (ii)      2025 පෙබරවාරි මස 22වන දින සිට 2025 සැප්තැම්බර් මස 01වන දින දක්වා

                        සිවිල් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව - 109

                        ගුවන් හමුදා පොලීසිය වෙත භාරවී ඇති සංඛ්‍යාව           - 355

ගුවන් හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව - 289

(iii) සේවය අතහැර ගොස් සිටීම සම්බන්ධයෙන් විනයානුකූලව පියවර ගෙන "සේවය තව දුරටත් අවශ්‍ය නොවේ" යන වගන්තිය යටතේ ගුවන් හමුදා සේවයෙන් ඉවත් කරලීමට කටයුතු සිදු කිරීම සහ කැමැති අයවළුන් ගුවන් හමුදා නීති රීතිවලට අනුකූල වන්නේ නම්, තවදුරටත් සේවය කිරීමට ඉඩ ලබා දීම.

සේවයේ රඳවා තබා ගැනීම පිළිබඳව සලකා බැලීමේදී ඔවුන් නිවාඩු නොමැතිව සිටි කාල පරිච්ඡේදය තුළ ඔවුන් විසින් සිදු කර ඇති වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය සහ අදාළ සිවිල් පොලිස් ස්ථානයන් මඟින් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම.

(iv) ආසන්න වශයෙන් දින 30ක පමණ කාලයක්. (මෙය ඔවුන් සේවය අතහැර ගොස් සිටි කාල සීමාවට අනුව ගනු ලබන විනය ක්‍රියාමාර්ගයේ තීරණ මත වෙනස් වේ.)

(ආ) (i) මෙය ඉඳුරාම මිලදී ගැනීමක් නොව අත්පත් කර ගැනීමක්. ඒ කියන්නේ, ඇමෙරිකාව සහ                ශ්‍රී ලංකාව අතර ඇති කරගත් අවබෝධතාවක් මත කරන ලද අත් පත් කර ගැනීමක්. එතැන C-130 ගුවන් යානා 2ක් තිබෙනවා.

(ii) ගුවන් යානා දෙකක් පමණි.

(iii) ගුවන් යානා දෙකටම මේ දක්වා දිගු කාලීන නවතා තැබීමේදී සිදු කෙරෙන සියලු සේවා දිගටම පවත්වා ගෙන යන අතර, SCH 881 ගුවන් යානය 2014 ජනවාරි මස 11 වන දින සහ SCH 880 C- 130 ගුවන් යානය 2019 මාර්තු මස 23 වන දින නඩත්තු ඩිපෝ වැඩසටහන් සිදු කිරීමට නියමිතව තිබුණ ද, යානා දෙකම පසුව නඩත්තුවක් ලබා නොමැත. ඒ නිසා යානා දෙකම 2014 සහ 2019 වර්ෂවලදී ගුවන්ගත කිරීම නවතා දමා ඇති අතර, ගුවන් හමුදාවේ බර ප්‍රවාහන හැකියාව බරපතළ ලෙස අඩාළ වීම හේතුවෙන් තමයි අපි මේ ගුවන් යානා දෙක අත්පත් කර ගැනීමට තීරණය කර තිබෙන්නේ.

(iv) මෙය මිලදී ගැනීමක් නොවන අතර අත්පත් කර ගැනීමකි. ජාතික ආරක්ෂක මෙහෙයුම්, මානුෂීය මෙහෙයුම් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා දේශීය හා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන හැකියාව වැඩිදියුණු කිරීම.

ඒ වාගේම මෙම යානා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් අත්‍යවශ්‍ය සේවා ඉටු කර තිබෙන ගුවන් යානා දෙකක්. දේශීයව යුද්ධය පැවැති කාල වකවානුව තුළ උතුර සහ දකුණ යා කරමින් ඍජු සහාය ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම භට පිරිස්, යුධ ආයුධ වාගේම විශේෂ පුද්ගල සහ බෙහෙත් ප්‍රවාහනය කිරීම සඳහා මෙම යානා විශේෂ කාර්යයක් ඉටු කර තිබෙනවා. මෙමඟින් ඉඳුරාම ගුවන් හමුදාවේ උපාය මාර්ගික ප්‍රවාහන හැකියාව - Strategic Airlift Capability එක - වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වාගේම මෙම යානා ජාතික ආරක්ෂක උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ද විශේෂයෙන් දායක වෙනවා. අපගේ බහුකාර්ය අවශ්‍යතා අඩු වියදමකින් කර ගැනීම සහ ජාතික ආරක්ෂාවට සූදානම් වීමේ හැකියාව වර්ධනය කර ගැනීමත් මෙයින් ඉෂ්ට වෙනවා.

(v) අතිරික්ත ආරක්ෂක උපකරණ වැඩසටහන යටතේ ගුවන් යානාවන්ගේ වටිනාකම ගෙවීමකින් තොරව අලුත්වැඩියා කටයුතු, ප්‍රවාහන සහ තාක්ෂණික සහාය සඳහා වන පිරිවැය වෙනුවෙන් ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 15 (ගුවන් යානා දෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30) පමණක් ගෙන, එම ගුවන් යානා අත්පත් කර ගැනීමට අවස්ථාව සලසයි. 

වත්මන් C- 130 යානා සේවයට ගැනීම ඉතා වියදම් අධිකව පවතින අතර දිගු කාලීන විසඳුමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයෙන් - මා ඉහතින් ද කියූ පරිදි - අතිරික්ත ආරක්ෂක උපකරණ වැඩසටහන යටතේ C- 130 H ගුවන් යානා දෙකක් ලබා ගැනීම මඟින් යානාවල වටිනාකම ගෙවීමකින් තොරව නඩත්තු සහ ප්‍රවාහන පිරිවැය පමණක් දරනු ලබන අතර යානා ලබා ගැනීමෙන් සේවයට යෙදවිය හැකි බවත් දන්වනවා.

(vi) දැනට ඇන්ටනෝව් 32 බී ගුවන් යානා භාවිත කරමින් අපේක්ෂිත කාර්යයන් සිදු කරන අතර එමඟින් රැගෙන යා හැක්කේ ටොන් 6.7ක් පමණි. යෝජිත පරිත්‍යාගී C- 130  ගුවන් යානය මඟින් ටොන් 18ක් දක්වා අපේ උපායීය ප්‍රවාහන හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට පුළුවන්.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-09-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks