01

E   |     |  

 දිනය: 2025-09-09   පිළිතුර ලබා දී ඇත 

1105/2025: මාර්ග සංවර්ධන අධිකාරියට අධ්‍යක්ෂවරු පත් කිරීම: ප්‍රමාදය

1105/2025

ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) ස්ථිර අධ්‍යක්ෂකවරුන් 39 දෙනෙකු පත් කිරීම සඳහා වර්තමාන රජය විසින් අදියරෙන් අදියර සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත්;

(ii) එම සම්මුඛ පරීක්ෂණවලදී පළාත් අධ්‍යක්ෂකවරුන් 05ක් සහ අධ්‍යක්ෂකවරුන් 34 දෙනෙක් තෝරා ගෙන අධිකාරියේ සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමතිය සඳහා යොමු කර ඇති බවත්;

(iii) මාස හයක් පමණ ගතවී තිබුණද, මේ වනතෙක් එම පත්වීම් ලබාදී නොමැති බවත්;

(iv) එම අධිකාරියේ වර්ෂ ගණනාවක සිට සේවය කරන ලද සේවකයන්, විශ්‍රාම ගැන්වීමට ආසන්න කාලයේදී උසස්වීම් අපේක්ෂා කරන අතර එය සාධාරණ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) මේ දක්වා ඉහත පත්වීම් ලබා නොදීමට හේතු කවරේද;

(ii) ඉහත පත්වීම් ලබා දීමට  බාධා තිබේද;

(iii) එම බාධා කවරේද;

(iv) එම බාධා ඉවත් කිරීම සඳහා කටයුතු කරන්නේද;

(v) ඉහත පත්වීම් ලබා දීමේ ප්‍රමාදය, රජයේ කාර්යක්ෂමතාවයට අහිතකර ලෙස බලපාන බව දන්නේද;

(vi) ඉහත සඳහන් පත්වීම් ලබා දෙන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-09

අසන ලද්දේ

ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පුරප්පාඩු වූ පළාත් භාර අධ්‍යක්ෂ තනතුරු 05ක් හා අධ්‍යක්ෂ තනතුරු 35ක් අතුරින්, මාර්ග සංවර්ධන අධිකාරියට - RDA - ස්ථිර පළාත් භාර අධ්‍යක්ෂවරු 05ක් සහ අධ්‍යක්ෂවරු 28ක් පත්කර ගැනීම සඳහා අදියරෙන් අදියර සම්මුඛ පරීක්ෂණ පවත්වන ලදී.

         (ii)      එම සම්මුඛ පරීක්ෂණවලදී පළාත් භාර අධ්‍යක්ෂවරු 5ක් සහ අධ්‍යක්ෂවරු 27ක් තෝරාගෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරන ලදී. එහිදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පළාත් භාර අධ්‍යක්ෂ තනතුරු සඳහා නැවත අයදුම්පත් කැඳවන ලෙසට උපදෙස් ලබා දෙන ලදී. තවද, අධ්‍යක්ෂ තනතුරු 27ට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වූවත් පත් කිරීම් සඳහා වන අනුමැතිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ පත්වීම් ලබා දෙන ලෙසටත් වැඩිදුරටත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් උපදෙස් ලබා දෙන ලදී.

(iii) ඔව්.

(iv) ඔව්.

(ආ) (i) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පළාත් භාර අධ්‍යක්ෂ තනතුරු සඳහා නැවත අයදුම්පත් කැඳවන ලෙසට ලබා දුන් උපදෙස්වලට අනුව නැවත අයදුම්පත් කැඳවූ අතර, ඉදිරියේදී ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

තේරී පත් වූ අයදුම්කරුවන්හට පත්වීම් ලබා දීමට අදාළ අනුමැතිය අමාත්‍ය මණ්ඩල තීරණ අංක: අමප/25/1143/802/004-VI (2025.07.01) මඟින් ලබා දී ඇතත්, එකී අනුමැතිය හිමි වී ඇත්තේ අන්තර්ග්‍රහණ කටයුතු අවසන්වීමෙන් අනතුරුව පත්වීම් ලබාදීම යන කොන්දේසිය සහිතව වේ.

(ii) ඔව්.

(iii) අන්තර්ග්‍රහණ කටයුතු සඳහා මෙතෙක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් මාර්ගෝපදේශ ලබා නොදීම.

(iv) අන්තර්ග්‍රහණ කටයුතු සඳහා සාකච්ඡා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ පවත්වමින් සිටී.

(v) ඔව්.

(vi) අන්තර්ග්‍රහණ කටයුතු නිම වූ විගස අදාළ පත්වීම් ලබාදීම සිදු වේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-09-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks