01

E   |     |  

 දිනය: 2025-08-19   පිළිතුර ලබා දී ඇත 

1091/2025: රාජ්‍ය කළමනාකරණ සේවා (සීමිත) විභාග, 2019 සහ 2024: කඩඉම් ලකුණු

1091/2025

ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       2019 හා 2024 වර්ෂවලදී රාජ්‍ය කළමනාකරණ සේවා විභාග පැවැත්වූ බව දන්නේද;

            (ii)       එම එක් එක් විභාගයේ සමත් කිරීමේ ලකුණු වෙන් වෙන් වශයෙන් කොපමණද;

‍(iii) 2019 වර්ෂයේ විභාගයට අදාළව පුරප්පාඩු ගණනය කිරීමේ පදනම් දිනය  කවරේද;

(iv) ඊට අදාළ පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(v) 2019 වර්ෂයේ රාජ්‍ය කළමනාකරණ සේවා (සීමිත) විභාගයට අදාළ බඳවා ගැනීමේ අවම ලකුණු කවරේද;

(vi) එම විභාගයෙන් ලකුණු 100ට ඉහළ ලබා ගන්නා ලද අයදුම්කරුවන් මේ වනවිට බඳවාගෙන තිබේද;

(vii) ඔවුන් බඳවා ගන්නා ලද වාර සංඛ්‍යාව කොපමණද;

(viii) පළමු වාරයෙන් පසු ඉතිරි අයදුම්කරුවන් බඳවාගත් ආකාරය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) 2024 වර්ෂයේ රාජ්‍ය කළමනාකරණ සේවා (සීමිත) විභාගයට අදාළ සමත් කිරීමේ ලකුණු කවරේද;

(ii) එම විභාගයෙන් සමත්වූ අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

(iii) සමත් අයදුම්කරුවන් අතරින් මේ වනවිට බඳවාගෙන ඇති සංඛ්‍යාව කොපමණද;

(iv) 2019 වර්ෂයේ ලකුණු 100ට‍ ඉහළ ලබා ගත් අයදුම්කරුවන් බඳවාගෙන ඇති බැවින්, 2024 වර්ෂයේ විභාගයෙන්ද ලකුණු 100ට ඉහළ ලබා ගත් අයදුම්කරුවන් බඳවා ගන්නේද;

යන්නත්  එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-08-19

අසන ලද්දේ

ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද අංක 2185 හා 2020.07.17 දිනැති කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2019හි, -එය පැවැත්වුණේ 2021දී- විභාග නිවේදනය අනුව 2021.03.27 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වා ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද අංක 2382 හා 2024.04.26 දිනැති කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2024හි විභාග නිවේදනය අනුව 2024.08.18 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වා ඇත.

(ii) සේවා ව්‍යවස්ථානුකූලව කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2019 -පැවැත් වුණේ 2021දී- සහ කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2024හි සමත් කිරීමේ ලකුණු ප්‍රමාණය 100 වේ.

(විභාග නිවේදනයේ 13.0හි සඳහන් විභාග පටිපාටිය අනුව විභාගය සමත්වීම සඳහා විභාගයේ එක් විෂයක් සඳහා සමත් ලකුණු ප්‍රමාණය 40ක් ද, විභාගයේ මුළු ලකුණු ගණනින් යටත් පිරිසෙයින් සියයට පනහක්වත් ලබා ගත යුතු වේ.)

     (iii) 2019.12.31 දිනට සහ 2023.01.17 දිනට.

      (iv) 2019.12.31 දිනට පැවති මුළු පුරප්පාඩු 2,300න් සියයට 30ක පුරප්පාඩු ප්‍රමාණය වන පුරප්පාඩු 690, 2019.12.31 දිනට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පැවති පුරප්පාඩු සංඛ්‍යාවෙන් සියයට 30ක පුරප්පාඩු ප්‍රමාණය වන පුරප්පාඩු 260 සහ 2023.01.17 දිනට පැවති පුරප්පාඩුවලින් සියයට 30ක පුරප්පාඩු ප්‍රමාණය වන 486.

   (v) කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2019හි බඳවා ගැනීමේ අවම ලකුණු 100 වේ.

     (vi) ඔව්.

     (vii) වාර තුනයි.

     (viii) කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2019හි පළමු අදියර යටතේ නිලධාරින් 660ක් ද, දෙවන අදියර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු සංඛ්‍යාව සම්පූර්ණ කිරීම සඳහා නිලධාරින් 277ක් ද, තෙවන අදියර යටතේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචන සම්බන්ධයෙන් පත් කරන ලද අනුකමිටුවේ නිර්දේශ මත ලබා දුන් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව හා අවස්ථානුකූලව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දුන් අනුමැතීන් ප්‍රකාරව නිලධාරින් 449ක් ද වශයෙන් මුළු නිලධාරින් 1,386ක් මෙම තරග විභාගය මඟින් බඳවා ගන්නා ලදී.

(ආ) (i) ලකුණු 100 වේ. (විභාග නිවේදනයේ 13.0හි සඳහන් විභාග පටිපාටිය අනුව විභාගය සමත් වීම සඳහා විභාගයේ එක් විෂයක් සඳහා සමත් ලකුණු ප්‍රමාණය 40ක් ද, විභාගයේ මුළු ලකුණු ගණනින් යටත් පිරිසෙයින් සියයට පනහක්වත් ලබා ගත යුතු වේ.

      (ii) එම තොරතුරු මෙම අමාත්‍යාංශය සතුව නොමැත.

     (iii) කළමනාකරණ සේවා නිලධාරි සේවයේ  III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2024හි ප්‍රතිඵල සහ වෙන් වූ පුරප්පාඩු සංඛ්‍යාව අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් අතුරින් නිලධාරින් 669දෙනෙකු කළමනාකරණ සේවා නිලධාරි සේවයේ  III ශ්‍රේණියට බඳවා ගෙන ඇත.

(iv) අංක 1840/34 හා 2013.12.11 දිනැති කළමනාකරණ සේවා නිලධාරි සේවයේ සේවා ව්‍යවස්ථාවේ 07වන ඡේදයේ පවතින ප්‍රතිපාදන අනුව සීමිත පදනම යටතේ බඳවා ගත හැකි නිලධාරින් සංඛ්‍යාව මේ වනවිට බඳවා ගෙන අවසන් කර ඇත. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සීමා කර ඇති අවස්ථාවක ආයතනවල කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධික පුරප්පාඩු ප්‍රමාණයක් පැවතීම තුළ සීමිත පදනමින් බඳවා ගැනීම් සිදු කළ නමුත් දිගින් දිගටම එසේ සිදු කිරීම තුළින් 2028 වර්ෂය වනවිට ඒකාබද්ධ සේවයට අයත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ වයස අවුරුදු 30ට අඩු කිසිදු නිලධාරියකු නොමැති වන මට්ටමේ විකෘති තත්ත්වයකට පත්වීමේ අවදානමකට සේවය ලක්වීමේ හැකියාව පැවතුණි. සේවා ව්‍යවස්ථා විධිවිධාන උල්ලංඝනය කරමින් දිගින් දිගටම සීමිත පදනමින් බඳවා ගැනීමට ප්‍රතිපාදන නොමැති අතර, එසේ බඳවා ගැනීම මත සේවා අවශ්‍යතාව ද විධිමත්ව සපුරා ගැනීමේ හැකියාවක් නොමැති බව නිරීක්ෂණය වේ. එය මේ සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් වශයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව රැඳී සිටින ස්ථාවරයට ද පටහැනි වේ.

මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව සේවයට විවෘත පදනමින් බඳවා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින අතර, සේවා ව්‍යවස්ථානුකූලව කළමනාකරණ සේවා නිලධාරි සේවයේ විවෘත/සීමිත අනුපාතය සියයට 70 සහ සියයට 30 යන්න සැලකිල්ලට ගෙන විධිමත් ආකාරයෙන් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ පුරප්පාඩු සම්පූර්ණ  කිරීමේ ක්‍රියාවලියට එළඹියහොත් පමණක් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ ගුණාත්මකභාවය ප්‍රශස්ත තලයකට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත. නියමිත ක්‍රමවේදය අනුව තරුණ නිලධාරින් රාජ්‍ය සේවයට ප්‍රවේශ වීමේ අවස්ථාව තුළ එම සේවයට පැමිණෙන තාක්ෂණයේ නව්‍යතා පිළිබඳ දැනුම ඇති පිරිස් හේතුවෙන් රජයේ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ වැඩ පිළිවෙළ ද යථාර්ථයක් කර ගැනීමට එය හේතු වනු ඇත. කෙසේ වෙතත්, 2024.08.18 දින පවත්වන ලද සීමිත තරග විභාගය සමත් නිලධාරින් තවදුරටත් බඳවා ගන්නා ලෙස දිගින් දිගටම ලැබෙන ඉල්ලීම් සැලකිල්ලට ගෙන විවෘත/සීමිත අනුපාතයට හානියක් නොවන පරිදි යම් පිරිසක් පැවති සීමිත තරග විභාගයෙන් බඳවා ගැනීමට මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර, එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවට යොමු කර ඇත.

(ඇ)   පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-08-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks