01

E   |     |  

 දිනය: 2025-09-23   පිළිතුර ලබා දී ඇත 

1074/2025: කුරුඳු වගාව දියුණු කිරීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතන: විස්තර

1074/2025

ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ශ්‍රී ලංකාවේ කුරුඳු වගා කරනු ලබන දිස්ත්‍රික්ක කවරේද;

              (ii)       කුරුඳු වගා කර ඇති බිම් ප්‍රමාණය කොපමණද;

            (iii)       කුරුඳු වගාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති රජයේ ආයතන කවරේද;

(iv) එම ආයතන අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ආයතන කවරේද;

(v) එම ආයතන පිහිටුවීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;

(vi) එම ආයතන මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේද;

 (vii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-23

අසන ලද්දේ

ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ කුරුඳු වගා භූමිවලින් සියයට 90ක් පහත දිස්ත්‍රික්ක 5 තුළ වගා කර ඇත.

1.     ගාල්ල

2.     මාතර

3.     රත්නපුර

4.     හම්බන්තොට

5.     කළුතර

                        ඊට අමතරව පහත දිස්ත්‍රික්කවලද සාපේක්ෂව සුළු පරිමාණයෙන් කුරුඳු වගා කර ඇත.

1.     බදුල්ල

2. කුරුණෑගල

3. මාතලේ

4. ගම්පහ

5. පුත්තලම

6. මොනරාගල

7. කොළඹ

8. කෑගල්ල

9. අම්පාර

10. ත්‍රිකුණාමලය

11. මහනුවර

12. අනුරාධපුරය

13. පොළොන්නරුව

14. නුවරඑළිය 

(ii) මුළු ප්‍රමාණය හෙක්ටෙයාර 37,500ක්. ඒ කියන්නේ, 2024 වර්ෂය වෙනකොට අක්කරවලින් කිව්වොත් 93,750යි.

ප්‍රධාන දිස්ත්‍රික්ක

දිස්ත්‍රික්කය

භූමි ප්‍රමාණය (හෙක්ටෙයාර)

ගාල්ල

          12,350.55

මාතර

             9,683.3

රත්නපුර

           5,231.28

හම්බන්තොට

           3,576.27

කළුතර

          2,766.44

සෙසු දිස්ත්‍රික්කවල හෙක්ටෙයාර 3,892ක කුරුඳු වගා කරලා තිබෙනවා.

    (iii) කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව.

    (iv) ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ස්ථාපිත කර ඇත.

    (v) අවශ්‍ය මූලික භෞතික සම්පත් පමණක් වෙන් කළ අය වැය ප්‍රතිපාදන මඟින් සලසාගෙන ඇති අතර, 2024.01.01 දින සිට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොරකන්ද ග්‍රාම නිලධාරි වසමෙහි මසකට රුපියල් 300,000ක කුලී පදනම මත ලබාගන්නා ලද ගොඩනැඟිල්ලක ආරම්භ කර ඇත. 

  (vi)   ඔව්.

  • ප්‍රධාන කාර්යාලය - ගාල්ල,  කරන්දෙනිය  
  • කලාප කාර්යාලය - ගම්පහ 
  • ක්ෂේත්‍ර රාජකාරී කටයුතු කරන නිලධාරින් සංඛ්‍යාව 26යි.

ක්‍රියාත්මක කරන වැඩසටහන් ගැන ඔබතුමා අසා තිබෙනවා. ඒකට ටිකක් දීර්ඝ පිළිතුරක් තිබෙන්නේ.  මම කීපයක් කියන්නම්.

  • සුළු හා මධ්‍ය පරිමාණ කුරුඳු ව්‍යවසායකයන්හට නව අපනයන වෙළෙඳ පොළ විවෘත කර දීම හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම.
  • සුළු හා මධ්‍ය පරිමාණ කුරුඳු ව්‍යවසායකයන්හට ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා සහභාගි කරවීමට අවශ්‍ය සහාය ලබා දීම මඟින් කුරුඳු අපනයනය ප්‍රවර්ධනය කිරීම.
  • ව්‍යවසායකයන්හට විදේශ ගැණුම්කරුවන් හඳුන්වා දීම.
  • විදේශ දූත මණ්ඩල සමඟ එක්ව කුරුඳු සඳහා නව අපනයන වෙළෙඳ පොළ විවෘත කර දීම.

උදා - චීනය 

  • කුරුඳු සඳහා භූගෝලීය තත්ත්ව දර්ශක සහතිකය (GI) ලබා දීමට අවශ්‍ය විගණන කටයුතු කිරීම.
  • ජාත්‍යන්තර කුරුඳු සඳහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල නව වගා සංවර්ධන වැඩසටහන හා ආයෝජන ආධාර ලබා දීම සිදු කරනවා.

මේ යටතේ පර්චස් 20 සිට අක්කර 5 දක්වා නව වගාවන් සඳහා පැළ ලබා දීමේදී එක් පැළයක් ස෯ඳහා රුපියල් 15ක රජයේ දායකත්වයක් දරන අතර, අවශ්‍ය සියලු තාක්ෂණික උපදෙස් හා මඟ පෙන්වීම කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා දේ.

ගරු කථානායකතුමනි, පිළිතුරේ ඉතිරි කොටස මා සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුරේ ඉතිරි කොටස:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடையின் எஞ்சிய பகுதி:

* Rest of the Answer tabled:

 

  • සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල කුරුඳු වගාවන්ගේ ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන සඳහා ආයෝජන ආධාර ලබා දීම.

a. අවුරුදු 01කට වඩා පැරණි කුරුඳු වගා ඉඩම්වල පාළු සිටුවීම සඳහා පැළ සහ අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන අතර  එක් පැළයක් සඳහා රජය විසින් සියයට 50ක    දායකත්වයක් ලබා දේ.

b. කුරුඳු වගාවන්ට සිදුවන පළිබෝධ හා සත්ව හානි වැළැක්වීම සඳහා උපාංග/පද්ධති හඳුන්වා දීම.

c. කාලගුණ විපර්යාසවලට අනුහුරු කිරීම සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම.

  • උචිත තාක්ෂණය භාවිතයෙන් කුරුඳු නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම.

a. ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය උපකරණ/යන්ත්‍ර සූත්‍ර සැපයීම.

b. අස්වනු සැකසීමේ උපකරණ/යන්ත්‍ර සූත්‍ර සැපයීම.

c. කුඩා/මධ්‍යම ප්‍රමාණයේ සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීම/අලුත්වැඩියා කිරීම.

d. කේන්ද්‍රීය සැකසුම් මධ්‍යස්ථාන පිහිටුවීම.

e. වාෂ්පශීලී තෙල් නිස්සාරණ ඒකක අලුතින් ඉදිකිරීම/අලුත්වැඩියාව.

f. ගබඩා පහසුකම් සංවර්ධනය.

g. අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්ත පහසුකම්.

  • කුරුඳු පශ්චාත් අස්වනු සැකසුම්/ අගය එකතු  කිරීමේ නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන සඳහා GMP/ISO 22000/HACCP/FSSC 22000/BRCGS ඇතුළු ප්‍රමිති සහතික ලබා ගැනීම සඳහා සහාය වීම.
  • උපදේශන සේවාවන්

a. පැළ තවාන් ලියාපදිංචි කිරීම සහ මාර්ගෝපදේශනය

b. ගොවි පුහුණු හා ක්ෂේත්‍ර දින වැඩසටහන්.

c. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සහ සහතික කිරීමේ මාර්ගෝපදේශනය.

d. භූගෝලීය දර්ශක සහතිකය (GI) අනුකූලතාව පිළිබඳ මාර්ගෝපදේශනය

e. ස්ථානීය පාංශු pH පරීක්ෂණ.

f. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

g. ක්ෂේත්‍ර පරීක්ෂණ හා උපදේශන සේවා

h. කුරුඳු කර්මාන්තශාලා සඳහා තාක්ෂණික සහාය

i. අගය එකතු කිරීම සහ අපනයනය ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන්

j. සහතික කිරීමේ සහාය

  • තිහගොඩ ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය මඟින් සපයනු ලබන සේවාවන්.

a.       විද්‍යාගාර විශ්ලේෂණ සේවා

b.       ක්ෂේත්‍ර පරීක්ෂණ සේවා

c.       උපදේශන සේවා

d.       පුහුණු සේවා

e.       පර්යේෂණ සහායන් සහ වෙනත් සේවා

f.       කුරුඳු සැකසුම් ශිල්පීන් පුහුණු කිරීම

g.       කුරුඳු ශ්‍රේණිගත කිරීම, සැකසීම සහ අගය එකතු කිරීම

h.       යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) පිළිබඳ පුහුණුව

(vii) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks