01

E   |     |  

 දිනය: 2025-09-23   පිළිතුර ලබා දී ඇත 

1071/2025: "රටලංකාව"නමැති ඉඩම: LRC සේවකයන්ට වෙන් කිරීම

1071/2025

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ‘රටලංකාව’ නමැති ඉඩමේ විශාලත්වය කොපමණද;

(ii) එම ඉඩමෙන් එක් එක් ආයතනය වෙත බැහැර කර ඇති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඉහත ඉඩමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත වෙන් කර ඇති ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත ඉඩමේ ඉඩම් කැබලි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවකයන්ට ලබා දීම සඳහා නිසි අනුමැතියක් තිබේද;

‍(ii) එසේ නම්, එම අනුමැතියට අදාළ ලිපියේ පිටපතක් සභාගත කරන්නේද;

‍(iii) නොඑසේ නම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වෙනත් ඉඩමකට ලබා ගත් අනුමැතිය භාවිතා කර, වංචනික හා අනීතික ආකාරයෙන් ඉහත ඉඩමේ කොටස් බෙදා දීමට කටයුතු කර තිබේද;

‍(iv) ඉහත ඉඩමේ කාලයක සිට අනවසරයෙන් පදිංචිවී සිටින පවුල් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;

  යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-23

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      භුක්තිය භාර ගැනීමේ සහතිකය අනුව, අක්කර 101ක ප්‍රමාණයක් ප්‍රායෝගික වශයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වී ඇත.

              (ii)      මේ සඳහා  ආයතන 20ක නාම ලේඛනයක් තිබෙනවා. ඒ අනුව, අක්කර 89 රූඩ් 2 පර්චස් 06ක් බෙදා දීලා තිබෙනවා. ඉතුරු ප්‍රමාණය අක්කර 11 රූඩ් 1 පර්චස් 34යි.

             (iii)      අක්කර 27 රූඩ් 0 පර්චස් 23.79.

(ආ) (i) පසුකාලීනව 1995 වර්ෂයේ සිට නැවත කොමිෂන් සභාවේ කාර්යය කටයුතු සක්‍රිය කිරීමෙන් පසුව 2005 වර්ෂයේදී එවකට විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව කොමිෂන් සභාවේ අනුමැතිය මත මේ වනවිට ඉඩම් කොටසක් නොලැබුණු සේවකයින් සඳහා

1. වරිපනම් ගෙවනු ලබන ප්‍රදේශයක් නම් පර්චස් 10ක ප්‍රමාණයක්

2. වරිපනම් නොගෙවනු ලබන ප්‍රදේශයක් නම් පර්චස් 20ක ප්‍රමාණයක්

වශයෙන් ඉඩම් කොටසක හිමිකම ලබා දීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. එහිදී ඉඩම් කොටසකට හිමිකම් ලබනුයේ කොමිෂන් සභාවේ වසර 05ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා ඇති කිසිදු විනය විරෝධී කටයුත්තකට භාජන නොවූ සේවක සේවිකාවන්ටය. ඒ අනුව, පොදු ප්‍රතිපත්ති හා නිර්ණායකයන් අදාළ කර ගනිමින් ලබා ගත් කොමිෂන් සභා අනුමැතීන් මත ක්‍රියාත්මක වෙමින් සේවකයන්ට ඉඩම් කොටස් ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

(ii) කොමිෂන් තීරණ ඇමුණුම් 01 හා 02 වශයෙන් අමුණා ඇත.

(iii) ශීර්ෂගත ප්‍රශ්නයට විෂයගත වන බිම් කොටස්වල ප්‍රතිලාභී සේවකයින් විසින් භුක්තියට ඇතුළු වූ අවස්ථාවේදී ප්‍රතිවිරෝධතාවන් මතු වූ විට ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභාව හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එරෙහිව සේවකයින් විසින් ගොනු කරන ලද නඩුකරයට අදාළව ගරු අභියාචනාධිකරණය විසින් අංක CA(Writ)-0288 දරන නඩු තීන්දුව ලබා දී ඇති අතර එමඟින් සේවකයින්ගේ හිමිකම තහවුරු කර ඇත. එකී තහනම් නියෝගයෙහි පිටපතක්  ඇමුණුම 03  වශයෙන් මේ සමඟ ඉදිරිපත් කරමි.

ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.

(iv)  දැනටමත් අනවසර‍කරුවන් නියමානුකූල කිරීම සඳහා පිඹුරු අංක 1584 පිඹුර සකසා ඇති අතර, එහි කැබලි සංඛ්‍යාව 23කි. ඉන් 15දෙනෙකුට ඔප්පු ලබා දී ඇත. අනවසරකරුවන් නියමානුකූල කිරීමට අදාළව වරින් වර එළඹ ඇති රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගතව හා කොමිෂන් සභාවේ අනුමත ක්‍රමවේදයන්ට යටත්ව ඉතුරු අනවසරකරුවන් නියමානුකූල කිරීම සඳහා ඉදිරි කටයුතු කෙරෙමින් පවතී.

(ඇ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks