01

E   |     |  

 දිනය: 2025-09-12   පිළිතුර ලබා දී ඇත 

1047/2025: වනවාසල සහ අරුවක්කාලු අපද්‍රව්‍ය ව්‍යාපෘති: වර්තමාන තත්ත්වය

1047/2025

ගරු අජිත් ගිහාන් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      (i)         කැළණිය, වනවාසල කසල ව්‍යාපෘතිය වර්ෂ කිහිපයක සිට අතරමග නතර         කර තිබෙන බව දන්නේද;

            (ii)        පුත්තලම දිස්ත්‍රික්කයේ, අරුවක්කාඩුව කසළ අංගනය අසාර්ථක වීමට              බලපාන ලද හේතු කවරේද;

(iii) එම ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

(iv) එම ව්‍යාපෘතිය අසාර්ථක වීම සඳහා දේශපාලන බලපෑමක් හේතුවී තිබේද;

(v) එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කර,  එය නැවත ආරම්භ කිරීම සඳහා ගත වන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-12

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙම ව්‍යාපෘතියේ කටයුතු නතර කර නොමැත. කැලණිය, වනවාසල කසළ හුවමාරු මධ්‍යස්ථානයේ සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර ස්ථාවර සම්පිණ්ඩක 3 ටෙන්ඩර් පත්‍රවල සඳහන් පිරිවිතර අනුව ක්‍රියාත්මක නොවූයෙන් කොන්ත්‍රාත්කරු විසින් එය නිෂ්පාදිත විදේශීය ආයතනය මඟින් නැවත එහි ඇති දෝෂ නිවැරැදි කර සවි කිරීමට කටයුතු කරමින් සිටී. ඒ අනුව එම කටයුතු 2025 වසර අවසන් වන විට නිම කිරීමට නියමිතව ඇත. එමෙන්ම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව පෞද්ගලික ආයෝජකයකු තෝරා ගැනීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. ඒ අනුව 2025 ඔක්තෝබර් අවසාන වන විට මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයකු වෙත ලබා දීමට නියමිතව ඇත.

(ii) පුත්තලම අරුවක්කාලු කසළ අංගනය, කසළ ගොඩබෑමේ මධ්‍යස්ථානයකින් සහ සනීපාරක්ෂක කසළ අංගනයකින් සමන්විත වේ. එම කසළ අංගනය ඉදි කර ඇත්තේ පළාත් පරිසර අධිකාරියේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ලබා දී ඇති අනුමැතීන්ට අනුකූලව වන අතර, එය අසාර්ථක වී නොමැත. එහි මෙහෙයුම් කටයුතු මෙම වසර අවසාන වන විට තෝරා ගනු ලබන පෞද්ගලික ආයතනයක් මඟින් ආරම්භ කිරීමට නියමිතව ඇත.

(iii) කැලණිය කසළ හුවමාරු මධ්‍යස්ථානය, අරුවක්කාලු කසල හුවමාරු මධ්‍යස්ථානය, සනීපාරක්ෂක කසළ රඳවනය සහ අදාළ යටිතල පහසුකම් දියුණු කිරීම, දුම්රිය එන්ජින් මිල දී ගැනීම, දුම්රිය වැගන් 34ක් සහ කසළ බහලුම් පෙට්ටි 94ක් මිල දී ගැනීම සඳහා වෙන් කරන ලද මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 130කි. (රුපියල් මිලියන 33,237.76කි.)

(iv) දේශපාලන බලපෑමක් නැත. එම ව්‍යාපෘතිය අසාර්ථක වී නොමැති අතර, එහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීමට කොවිඩ් වසංගත තත්ත්වය මෙන්ම පසුගිය වසර කිහිපය තුළ රටේ පැවැති ආර්ථික තත්ත්වය මත කොන්ත්‍රාත්කරුට මුදල් ගෙවීමේ ප්‍රමාදය‍ හේතු වී ඇත. කෙසේ වෙතත්, මෙම වසර අවසාන වන විට ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත වේ.

(v) ව්‍යාපෘතියේ මේ වන විට සියලු ඉදිකිරීම් වැඩ අවසන් වී ඇති අතර, කැලණිය කසළ හුවමාරු මධ්‍යස්ථානයේ ස්ථාවර සම්පිණ්ඩක 3 පමණක් පිළිසකර කර නැවත සවි කිරීම ඉතිරිව ඇත. එයද මෙම වසර අවසාන වන විට නිම කිරීමට නියමිත අතර, ඒ අනුව මෙම වසර අවසානයේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකි වේ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-09-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. සරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks