බලන්න

E   |     |  

 දිනය: 2026-07-07   පිළිතුර ලබා දී ඇත 

1031/2026: ජාතික ළමා ආරක්ෂක අධිකාරිය: අරමුණු සහ නීතිමය බලය

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ස්ථාපිත කිරීමේ අරමුණු කවරේද;

             (ii)       එම අධිකාරිය සඳහා අනුමත කර ඇති සේවක සංඛ්‍යාව කොපමණද;

(iii) මේ වනවිට සිටින සේවකයින් සංඛ්‍යාව සහ පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(iv)  අපයෝජනයට ලක්වන ළමුන් සම්බන්ධයෙන් අධිකාරිය සතුව නීතිමය බලයක් තිබේද;

(v)  එසේ නම්, එම නීතිමය බලය ක්‍රියාත්මක කරන ආකාරය කවරේද;

(vi)  එම ආයතනය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-07

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා සහ ළමා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයි ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්යය සඳහා සහ සියලු ආකාරයේ වූ ළමා අපචාරවලට එරෙහි වූ ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය හා නියාමනය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ස්ථාපිත කර තිබෙනවා, 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත යටතේ.

(ii) 618කි.

(iii) මේ වනවිට සේවයේ නියුතු සේවකයින් සංඛ්‍යාව 336යි. පුරප්පාඩු සංඛ්‍යාව 282යි. මේ වනවිට එයින් පුරප්පාඩු 109ක් සඳහා බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

(iv) අපයෝජනයට ලක් වන ළමුන් සම්බන්ධයෙන් අධිකාරිය සතුව නීතිමය බලයක් තිබෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14 වගන්තියේ (අ) සිට (ණ) දක්වා වන  වගන්තිවලින් අධිකාරියට ඇති නීතිමය බලය පිළිබඳව පහත පරිදි සඳහන් කර තිබෙනවා.

ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයි ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආණ්ඩුවට සහාය දැක්වීම, ළමා අපචාර වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, ඒ වාගේම අපචාරවලට ගොදුරු වූවන් ආරක්ෂා කිරීම, අපචාරවලින් ආරක්ෂා කරනු ලැබීමට ළමයින් සතු අයිතිවාසිකම් පිළිබඳව සහ ළමා අපචාර වැළැක්වීමේ ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම.

මේ පිළිතුරෙහි සඳහන් වෙලා තිබෙන්නේ අපචාර කියලා. නමුත් මම හිතනවා, එය අපචාර සහ අපයෝජන කියන දෙකම විය යුතුයි කියලා. එහි දීර්ඝ ක්‍රියාවලියක් තිබෙනවා. සියලුම ආකාර ළමා අපචාර, අපයෝජනවලට අදාළ නීති ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමත්, සියලු ආකාර ළමා අපචාර අනාවරණය කර ගැනීම හා වැළැක්වීම සම්බන්ධයෙන් විදේශ ආණ්ඩු හා අන්තර්ජාතික සංවිධාන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම සහ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහාත් වූ දීර්ඝ ක්‍රියාවලියක නීතිමය බලයක් මෙම අධිකාරිය සතු වෙනවා.

 

(v) · පනතේ 14වන වගන්තියේ (උ), (ඌ) සහ (ඔ) යන වගන්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පැමිණිලි මෙහෙයුම් මාර්ගෝපදේශය 2020 වර්ෂයේදී හඳුන්වා දී ඇති අතර, ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද, එම ළමා අපයෝජන විමර්ශන පොලිස් ස්ථාන මඟින් නිසි පරිදි සිදු කරන්නේද යන්න පිළිබඳව නියාමනය, උපදෙස් සැපයීම සහ අදාළ මැදිහත්කරණය සිදු කරනවා.

  • · 14 වගන්තියේ (අ), (ආ) සහ (ඇ) යන උපවගන්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කරන නඩු නියාමනය, පර්යේෂණ හා අධ්‍යයනයන් සහ අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි අනුව ලබා ගන්නා දත්ත මත පදනම්ව සිදු කෙරෙනවා.
  • · අනෙකුත් උපවගන්ති බලාත්මක කිරීමේදී එක් එක් ආයතන/ අංශ වෙත පවරා ඇති කාර්යභාරය අනුව අනුමත සංකල්ප පත්‍රිකා මත පදනම්ව ක්‍රියාත්මක වීම සිදු කෙරෙනවා.

(vi)   ඔව්.

  • · 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සංශෝධනය කිරීමට කටයුතු කරලා, මේ වනවිට එය නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර තිබෙනවා.
  • · ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැන් සිදු කරමින් පවතිනවා.
  • · ආයතනයේ පුරප්පාඩු සඳහා සේවකයන් බඳවා ගැනීම සිදු කරමින් පවතින අතර, තනතුරු 109ක් සඳහා බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අවසරය ලැබිලා තිබෙනවා. ඉන් පුරප්පාඩු 46ක් සඳහා බඳවා ගැනීම් අවසන් කර තිබෙනවා. අනුමත තනතුරු 109 අතුරින් ඉතුරු පුුරප්පාඩු 63 සම්පූර්ණ කර ගැනීම සඳහා බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට මේ වනවිට සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.
  • · නිලධාරින් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් සිදු කිරීම.
  • · අභ්‍යන්තර සාකච්ඡා මඟින් ගැටලු විසඳා ගැනීම.
  • · ආයතනික අභ්‍යන්තර කටයුතු ඒකකය මඟින් දූෂණ හා අවදානම් හඳුනා ගනිමින් ඒවා අවම කර ගැනීම සඳහා සැලසුම්කරණය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-07-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks