01

E   |     |  

 දිනය: 2025-07-24   පිළිතුර ලබා දී ඇත 

0975/2025: උහන සහ පොතුවිල් ප්‍රදේශ: වෙනම අධ්‍යාපන කලාප පිහිටුවීම

975/2025

ගරු එම්. එස්. උදුමාලෙබ්බේ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       අම්පාර දිස්ත්‍රික්කයේ, උහන සහ පොතුවිල් යන ප්‍රදේශ සඳහා වෙන වෙනම අධ්‍යාපන කලාප පිහිටුවීම සඳහා කටයුතු කරනු ලැබූ අතර ඒ සඳහා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයාද සිය නිර්දේශ ලබා දුන් බවත්;

  (ii) එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ සඳහා අනුමතිය ලබා දී නොමැති බවත්;

එතුමිය දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, උහන සහ පොතුවිල් ප්‍රදේශ සඳහා වෙන වෙනම අධ්‍යාපන කලාප පිහිටුවීමට කටයුතු කරන්නේද;

(ii) ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-07-24

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      එවැනි නිර්දේශයක් ලැබී නොමැත.

              (ii)      ඉහත (i)හි පරිදි නිර්දේශයක් ලබා දී නොමැති බැවින් ඒ සඳහා අනුමැතියක් ලබා දී නොමැත.

(ආ)         (i)      නව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැනට ප්‍රමුඛතා ලබා දී ඇත්තේ විෂයමාලා ප්‍රතිසංස්කරණ සඳහා වන අතර, ප්‍රධාන කුලුනු 05ක් පදනම් කරගෙන එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ කුලුනක් ක්‍රියාත්මක කරන විට වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීම අවශ්‍ය වේ නම්, එම අවස්ථාවේදී ඒ පිළිබඳව සලකා බැලෙනු ඇත.

(ii) · නව අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 2026 වසරේදී කලාප කාර්යාල වැඩි කිරීම සම්බන්ධව නිශ්චිත තීරණයක් මේ වනතෙක් ගෙන නොමැති අතර, වඩාත්ම සාධනීය අයුරින් අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව මේ වනවිට සාකච්ඡා වෙමින් පවතී.

 · එක් එක් කලාපවලට ඇතුළත්වන පාසල් සංඛ්‍යාව, ශිෂ්‍ය සංඛ්‍යාව, ගුරු සංඛ්‍යාව හා භූගෝලීය පිහිටීම යන කරුණු පදනම් කරගෙන අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වනවිට නව අධ්‍යාපන කලාප ඇති කිරීමේ අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks