04

E   |     |  

 දිනය: 2025-07-11   පිළිතුර ලබා දී ඇත 

0919/2025: කොළඹ-මඩකලපුව රාත්‍රී තැපැල් දුම්රිය: පළමු පන්තියේ නිදන මැදිරි නැවත හඳුන්වා දීම

----

අසන ලද දිනය

2025-07-11

අසන ලද්දේ

ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      වර්තමානයේ කොළඹ-මඩකලපුව රාත්‍රි තැපැල් දුම්රිය බලවේග කට්ටලයක් මඟින් ධාවනය වන බැවින්, එහි පළමු පන්තියේ නිදන කාමර පහසුකම් නොමැත. නමුත්, එම දුම්රියෙහි වායුසමනය කරන ලද පළමු පන්තියේ ආසන පහසුකම් ඇත.

              (ii)      මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා කලින් යොදා ගනු ලැබූවේ එන්ජිම සහිත රුමේනියානු මැදිරි කට්ටලයක් වන අතර, නිදන කාමර පහසුකම් පවතින්නේ එම රුමේනියානු මැදිරිවල පමණි. මේ දුම්රිය සඳහා M-2 වර්ගයට අයත් එන්ජිමක් යොදවා තිබූ අතර, එම එන්ජිමෙහි පවතින ගැටලු හේතුවෙන් රියැදුරන්ට දුම්රිය මාර්ගය පැහැදිලිව නොපෙනෙන බැවින්, වනඅලි දුම්රියෙහි ගැටීම සිදු වන බව කමිටු වාර්තාවකින් පෙන්වා දී ඇත. එබැවින්, මෙම එන්ජිම සහිත මැදිරි කට්ටලය ඉවත් කර ආලෝක තත්ත්වයෙන් වැඩි S-13 බලවේග කට්ටලයක් ධාවනයට එක් කර ඇති අතර එහි නිදන කාමර පහසුකම් නැත.

(iii) දුම්රියේ වනඅලි ගැටීමේ ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුමක් ලැබුණු පසු මෙම පහසුකම් නැවත ලබා දීමට හැක.

(iv) පැන නොනඟී.

 

(ආ) (i) වෙනත් මාර්ගවල ධාවනය වන දුම්රියන්හි පළමුවන පන්තියේ නිදන මැදිරි නොමැති අතර, ඒවායෙහි ඇත්තේ පළමුවන පන්තියේ වායුසමන පහසුකම් සහිත වෙන් කළ ආසන සහිත දුම්රිය මැදිරි වේ. පහසුවෙන් හැසිරවිය හැකි එම එක් ආසනයක මිල ආසන්න වශයෙන් රුපියල් 3,000ක් පමණ වේ. කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියෙහි ඇඳන් සහිත නිදන මැදිරි පැවැති අතර, එක් මගියෙකු සඳහා භාවිත කළ හැකි ඇඳක මිල රුපියල් 4,950ක් ව පැවතිණ.

(ii) නිදන මැදිරියක එක් කාමරයක ආසන (ඇඳන්) දෙකක් පමණක් ඇති බැවින් මගීන්ට වැඩි පෞද්ගලිකත්වයක් හා ආරක්ෂාවක් සහිතව ගමන් කිරීමේ පහසුව පවතින නමුත්, ආසන පනස්දෙකක් සහිත වායුසමනය කරන ලද මැදිරි තුළ එම පහසුකම නැත. මේ හේතුවෙන් ආසන ගාස්තු අතර සුළු වෙනසක් පවතී.

(iii) වෙනත් මාර්ගවල ධාවනය වන දුම්රියන්හි පවතින පහසුකම් හා කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියෙහි පැවැති පහසුකම් පැහැදිලි ලෙසම පහසුකම් වර්ග දෙකකට අයත් වන බැවින් මගීන්ට වෙනස් කොට සැලකිලි දැක්වීමක් සිදුව නොමැත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks